languages languagesicone
site loader
site loader

නොලැබෙන යුවතිය

ආදරය…… ඒක හරිම පුදුම දෙයක්. කෙනෙක්ට ආදරය ඇතිවුණාම ඒක කොච්චර බලවත්ද
ඒත් ඒ ආදරය තමන්ට ලැබෙන්නේ නෑ කියලා දැනෙද්දී ….. ඒ ආදරය තවත් වැඩිවෙයිද?

කාලයක සිට ඇයට පෙම් බඳින ඔහු……..
ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටින බව දැනගන්නවා. මෙය ඔහුට එකවර දරා ගත හැකි දෙයක් නම් නෙවෙයි. ඒ නිසා ඔහු කන්දක් පාමුල හුදෙකලාව මේ වගේ ගීතයක් මුමුණනවා. ඒ ගීතය ආරම්භ වෙන්නේ මෙහෙමයි
“කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙනවද”

ඇයට වෙනත් හිමිකරුවෙකු මේ වන විටත් සිටී. එය ඔහු ගීතයෙන් කියන්නේ මෙහෙමයි

ඔබ කිව් රහසින් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි

අළුයම් කාලයේදී, මිටියාවත්, කඳු, ශිඛර සිසාරා ගොස් අඳුරැ වන පෙත තුළ සඳ බැස යයි. නමුත් ඔබ කී දෙයින් මා සැළුනේ නැත. ඔබ අන්සතු බව මම දැන සිටියෙමි. ඔහු එසේ ප්‍රකාශ කළද හදවතින් ඔහු තවම පසු තැවෙයි.           

උදෑසන කාලයේදී ඇළ, දොළ, ගංඟා, සයුරු සිසාරා ඉර නැඟ එන දර්ශනය මනරම්ය. එම දසුනට අපේ සිතුවිලි වෙනස් කරන්න පුළුවන්. ඒත්…….

ඔබේ නෙත් යුවලේ කාන්තියට මගේ සිතුවිලි නැවත වෙනස් කළ නොහැක.

“ඇල දොල ගංගා සයුර සිසාරා ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි”

ලැබෙන්නේ නැති ඒ යුවතියට ආදරය තවත් වැඩිවෙලාද?

මේ ගීතයේ පදවැල් සරත් ගුණරත්න මහතාගෙන්, ඒක සංගීතවත් වෙන්නේ කාලෝ විජේසිරි මහතා අතින්, ගායනා කරන්නේ ආත්මා ලියනගේ මහතා. ඒ ගීතය මෙතනින් අහන්න

ආදරය නිසා මිතුරුකම නැති වෙයිද?

දේවල් එකට කරද්දී, කාලය ගත කරද්දී යාළුකම් වැඩිවෙනවා මොකද යාළුවා ගැන හොදින් දැනගන්න තේරුම් ගන්න හින්දා.

මේ ගීතයෙත් යහළුවන් දෙන්නාගේ බැදීම කොච්චරද කියනවා නම් මේ යාළුවව හදුන්වන්නේ “මස්සිනා” කියලා. එහෙව් යාළුකමට ලොකු අභියෝගයක් එනවා. මේ දෙන්නම එකම ළදකට ආදරය කිරීම. ගී පද මාලාවේ ඒක තියෙන්නේ මෙහෙමයි “ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට“.

දැන් මොකද කරන්නේ, ඊලග ගී පදවල ලියැවෙන්නේ ඒ ගැනයි “විරසක වී රුපුන් ලෙස යුද වදින්නද” රණ්ඩු වෙන්නද නැත්නම් “පෙම්දම් නිසා මිතුදම් සිඳ දමන්නද” යාළුකම අත්හරින්නද?

මේ ගැටලුව නිසා දැන් තත්වය ගී රචකයා විස්තර කරන්නේ මෙහෙමයි “දොඩමලු කතා නැහැ අද වාඩිය හෙවනේ නිදිනැති රැය පුරා නුඹෙ සුසුමයි ඇසුනේ” දැන් ඉස්සර වගේ මේ යාළුවන් දෙන්නා කථා නැහැ. ආදරය යාළුකමට පහරක්ද?

ඒකට පිළිතුර ගීතය අවසානයේ මෙහෙම තියෙනවා “නුඹවත් නැතිවේද හෙට මට සකි සඳුනේ” ආදරය නිසා විරසක වුනොත් ඉන්න හොදම යාළුවත් නැති වෙයිද?

පිළිතුර ගී රචකයා සදහන් නොකලත් එය ඔබට සිතන්න දෙයක්.

වසන්ත කුමාර කොබවක මහතා විසින් ලියවුනු ආචාර්ය රෝහණ වීරසිංහයන් විසින් සංගීතය යෙදුනු මෙම ගීතය ගායනා කරන්නේ සුනිල් එදිරිසිංහ මහතා සහ එඩ්වඩ් ජයකොඩි මහතායි.

“පලංචියේ” ගීය පදමාලා සමග මෙතනින් අහන්න

මල්ලියේ ඕවට බොන්න එපා!

කවදාකවත් දැක්කේ නැති වයසින් වැඩි කෙනෙක්, ඔයාගේ ජිවිතේ හරි පාරට අරගෙන තියෙනවද? මේ ගීතය හරියට ඒ වගේ එකක්.
තරුණ කොල්ලෙක් බොන්න ගිහින්, මොකද …. ප්‍රේමයේ විරහව. මේක දකිනවා මෙතනට බොන්න ආපු වයසින් වැඩි කෙනෙක්. එයාට ඕනේ ඇයි මේ කොලුවා බොන්නේ කියල දැනගන්න. එතකොට කොල්ලා හේතුව කියනවා.. මේ නොදන්නා පුද්ගලයා එතකොට මෙයාට අපුරු මගපෙන්වීමක් දෙනවා ඒක තමයි මේ පද පේළියෙන් කියන්නේ

අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා

ඇත්ත ජිවිතයේ විවිද හේතු නිසා අපි වැටෙන්න පුළුවන්. ඒ අතරින් තරුණ කාලේ කොල්ලෙක් වැටෙන්න පුළුවන් හේතුවක් තමයි ප්‍රේමයේ විරහව. ඒක දරා ගන්න ලේසි නැහැ. ඒ වෙලාවට වැරදි තීරණයක් ගත්තොත් ඒක මුළු ජිවිතයටමත් ඔයාට ආදරය කරන අනිත් අයටත් බලපානවා.
හැබැයි ඒ වෙලාවට අපිට අත දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්……

Ruwak Edenawa
මල්ලියේ ඕවට බොන්න එපා

මේ ගීතයේ පද පේළි පටන් ගන්නේ මෙහෙමයි “රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා” දැනටමත් මේ වැඩිහිටියා මදු පැන් කට ගාලා ඉවරයි. ටිකක් විතර වෙරි. ඒ නිසා එන්නේ කවුද කියලවත් හොයා ගන්න ටිකක් අමාරුයි.

දැන් මෙයා දකිනවා මදුලෝලි තරුණයෙක්, එවිට එයා මෙහෙම අහනවා “සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ” තරුණයා කියන්නේ මෙහෙමයි “නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

එහෙම කියද්දී මේ වැඩිහිටියා කියන්නේ “මල්ලි, මේවා බීලා විසදන්න පුළුවන් ප්‍රශ්ණ නෙමෙයි” ඒක ගී පද රචකයා සටහන් කරන්නේ මෙහෙමයි “අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා”

මේ ගීතය විශාරද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ විසින් ගයන ගීතයක්. ගී පද මහින්ද දිසානායක මහතා විසින්, සංගීතය ගුණදාස කපුගේ විසින්මයි.

මේ ගීතය අහන්න

error: Content is protected !!