මගෙ දුවේ ඔබ අවදියෙන් නම්

Lyrics

මගෙ දුවේ ඔබ අවදියෙන් නම්
මේ රැයේ මිහිරිම වෙලාවයි
දොර ඇරන් එළියට ආවොතින්
මේ මිහිරි දේවල් නුඹටමයි


සේපාලිකා මල් බිමට බැහැලා
ඇවිදින්න යන වෙලාවයි
නිල් තාරුකා බිම බලාගෙන
වැව් දියට පෙම් බැඳි වෙලාවයි
මේ පොළව කොතරම් සුන්දරද
මගේ දූ තනියම හිනාවෙයි

මගෙ දුවේ ඔබ …..

ගණ කළුවරට අප පෙම් කළොත්
ඉර හඳ තරුවලට ණය ගැතියි
ලොව දුන්නු දේවල් අද අපිට හෙට
ලොවට පෙරළා දිය යුතුයි
ඔබ මේ ලොවට ආදරෙයි නම්
මුළු ලොවම ඔබටත් ආදරෙයි

මගෙ දුවේ ඔබ …..

Mage duwe duve oba awadiyen nam – Karunarathna Divulgane

More from Admin

Featured on

2 Comments

Your email address will not be published. Required fields are marked *

  1. අනේක විද සෙල්ලම් බඩු, විසිතුරු දේ වලින් තම දරුවන් සතුටු කිරීමට උත්සහ දරණ බහුතර දෙමව්පියන් ඇති අද සමාජයට නැවත වතාවක් සිතන්නට යමක් එකතු කරන ගීතයක් ලෙස මෙම ගීතය හැඳින්විය හැකිය. ගීතය ලිවීමේ පසුබිම සහ මෙය ගායනා කරන කරුණාරත්න දිවුල්ගනේ ගායකයානන් ද සංගීතවත් කල ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ ද අදහස් අවසානයේ දක්වා ඇත.

    ප‍්‍රතිභාපූර්ණ කවියකු, ගීත රචකයකු වන රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් නිර්මාණය කෙරුණු මෙම ගීතය පියකු තම දියණිය වෙත ඇති සෙනෙහස ඉහලින්ම විදහා දක්වන ගීතයක් ලෙස නම් කල හැකිය.

    මගෙ දුවේ නුඹ අවදියෙන් නම්…
    මේ රැයේ මිහිරි ම වෙලාව යි…
    දොර ඇරන් එළියට ආවොතින්…

    මේ මිහිරි දේවල් නුඹට ම යි…

    පියා තම දුවට අමතන්නේ මිහිරෙන් පිරි දේ ඇයටම ලබා දීමටයි. නමුත් මේ මිහිරිම දෙවල් ඇත්තේ “පීසා හට්” තුල වත්, “කේ.එෆ්.සී” තුලවත් නොවීම මෙන්ම ඒ මිහිරිම දේ, ලැබිය හැකී දේ නොවීමද ඉතාම වැදගත් කාරණාවයි. මේවා ලැබිය හැකි දේවල් නම් මිල මුදල් ඇති පහසුවෙන්ම මේ මිහිරියාව ලබා ගනු නොඅනුමානය. නමුත් මේවා විඳීම් පමණකි. යමක් දැකීම සහ එය විඳීම හාත්පසින් වෙනස් කාරණා දෙකකි. මේ ආදරණීය පියානන් තම දියණියට උගන්වන්නේ මිළට ගත නොහී සෞන්දර්‍යාත්මක විඳීමයි. දියණිය අවදියෙන් දැයි අසන්නේ ඇතැම්විට මෙවැනි වූ ක්‍රියාකාරකම් පිලිබඳව ඇය අවදියෙන් ද යන්න ද වීමට පිලිවන. එනම් “දුවේ ඔබ සංවේදී ද?” යන ප්‍රශ්ණය විය හැක. දොර හරින්න යනු ගෙදර දොර පමණක් නොව හදවතේ දොරටුව ද විය හැක.

    මෙතැනින් එහාට ඔබට සුන්දර වූ රාත්‍රියක් මනැසින් චිත්‍රනය කරවීමට රත්න ශ‍්‍රී ය යන් සමත් වේ.

    සේපාලිකා මල් බිමට බැහැලා..
    ඇවිදින්න යන වෙලාව යි..
    නිල් තාරකා බිම බලාගෙන..

    වැව් දියට පෙම් බැඳි වෙලාව යි..

    ඔබ රාත්‍රියක සේපාලිකා ගසක් අසලට ගියොත් ඔබට බිම වැටී ඇති සේපාලිකා මල් ඕනෑ තරම් දකින්නට හැකිය. නමුත් එය සොබාදහමේ අසිරිය ලෙසින් ගෙන විඳින්නට නම් පින් කොට තිබිය යුතුමය. තම සුරතල් දියණියට දැනෙන ලෙස, විඳීමට හැකිවන ලෙස සරල ලෙසින් ඔහු සොබාදහමේ ස්වභාවික සිද්ධීන් විචිත්‍රවත් ලෙස ඉදිරිපත් කරයි.

    වැව් දිය එලියෙන් තාරකා පෙනෙන බැව් අප සැවොම දන්නා කරුණකි (ඇතැම් විට ඔබත් මෙය සැබෑ ලෙසම වැව් තාවුල්ලක රාත්‍රියක් ගතකොට ඇත්නම් අත් විඳ ඇතිවාට සැකයක් නැත )

    නමුත් සුන්දර තාවය නම් තම දියණියට ඔහු එය ඉදිරිපත් කරණ ආකාරයයි. පියා විසින් ප්‍රේමය මුලින්ම තම දියණියට කියා දේන්නේ තරු කැට වැව් දියට දක්වන සුන්දර වූ ද වීතරාගී වූ ද ප්‍රේමය උදාහරණ කර ගනිමිනි. ප්‍රේමයේ සුන්දර බව, සන්සුන් බව යන මේ සියල්ල ඇය තේරුම් ගන්නේ සොබාදහම තුලිනි.

    ගන කළුවරට අප පෙම් කළොත්
    ඉර හඳ තරුවලට ණය ගැති යි
    ලොව දුන්නු දේවල් අද අපට
    හෙට ලොවට පෙරළා දිය යුතු යි
    ඔබ මේ ලොවට ආදරේ නම්
    මුළු ලොව ම ඔබටත් ආදරෙයි

    අප ආදරය කරන්නේ අඳුරට නම් අප ඉර හඳ තරුවලට ණය ගැති බව පියා පවසයි. ඒ අඳුර අපට ලැබෙනුයේ මේවා නැති තැනදි වීමයි.

    තම දියණියට සොබාදහම ඇසුරු කර ගෙන ඉතා සියුම් ලෙස අවවාද, දැණුම එකතු කර දීමටද මේ ආදරණීය පියාණන් අමතක කරන්නේ නැත. අපට මේ ලැබෙන ආලෝකය මෙන්ම අන්දකාරයත් ලැබී තිබෙන්නේ අපව රැකබලා ගන්නා මේ ලොකයෙන් බවත් (මෙහිදී ලෝකය යනු එහි ජීවත් වන මිනිසුන් ඇතුලු සතා සීපාවත් ගහකොලත් සමඟය) ඒ නිසාම අප නැවත මේ සියල්ල මතු පරම්පරාවන් උදෙසා අරක්ෂා කර නැවත ලෝකයට බාරදියයුතු බවත් ඔහු තම ආදරණීය දියණියට කියා දෙයි. අවසාන වශයෙන් ඔහු මෙසේ තම දියණියට පවසයි “මුළු ලෝකයටම ආදරය කරන්න. ගහට, වැලට, ඇලට, දොලට, වැස්සට, අව්වට, මවට, පියාට, ගුරුවරුන්ට ඇතුලුව හැමෝටම…. එතකොට ඒ හැමෝම ඔයාටත් ආදර‍ය කරාවි…”

    රත්න ශ‍්‍රී විජේසිංහයන් විසින් ගීතයේ පසුබිම පිලිබඳව, පුවත්පත් සාකච්ඡාවකදී මෙසේ කියා තිබුනි. “මේ ගීතයේ ආත්මය මගේ සිතේ මුලින්ම පිළිසිඳුණේ කලකට ඉස්සර. මගේ දුවලා පුංචි සන්දියේ දී… එදා මට ඔවුන්ට ලොකු සෙල්ලම් බඩු, වටිනා ඇඳුම් පැලඳුම්, විවිධ විච්චූරණ විලාසිතා ආරගෙන දීමට තරම් වත්කමක් තිබුණේ නැහැ. මං ගමක හැදුණු දුප්පත් ගැමියෙක් නෙ. ඒත් මගේ සිතේ සොබාදහම නිසා මා ලද වින්දනය එදා සිට අද දක්වා ම එක සේ පවතිනවා.”

    “මම මගේ දරුවන්ට විවිධ මෝස්තරවල සෙල්ලම් බඩු අරගෙන දෙන්න ඕනෑ කියා පසුතැවුණේ නැහැ. මේ අතර මගේ මිත‍්‍රයෙක් සිටියා. ඔහුත් මා මෙන් ම මධ්‍යම පන්තියේ අයෙක්. ඒත් ඔහු වියදම් කරමින් ඔහු ගේ දරුවන් පිනවන්නට විසිතුරු කී‍්‍රඩා භාණ්ඩ අරගෙන දුන්නා. ඔහුට අවශ්‍ය වුණේ සුඛෝපභෝගී කී‍්‍රඩා භාණ්ඩවලින් ඔහු ගේ දරුවන් පිනවන්නයි.”

    මට මේ වෙලාවේ කල්පනා වුණා මේ මොන නිරර්ථක වැඩක් ද, ළමයින් සතුටු කරවන්න මීට වඩා අර්ථවත් හොඳ ක‍්‍රම නැද්ද කියලා. මං මගේ දරුවන් ඉතා හොඳින් පිනවන්නට ඔවුන්ගේ රසඥතා ඥානය ඇති කරවන්නට කල්පනා කළේ ඔවුන් සොබාදහමට නැඹුරු කරවීමෙන්. මම ඔවුන් ඉර හඳ තාරකාවලට, ගහ කොළට, කුරුල්ලන්ට, කොවුල් ගීයට, වෙලට, දොළට, ගඟට ළං කරවූවා.

    නිතර නිතර ඔවුන් සොබාදහමේ අසිරිමත් ස්ථාන, විස්කම් දේ රස විඳිය හැකි දේ බලන්නට කැඳවාගෙන ගියා. මං ඒ මඟින් මගේ දරුවන්ට හොඳ ආස්වාදයක් ලබා දුන්නා. විශේෂයෙන් ම මට ඉන්නේ ගැහැනු දරුවන් නිසා ඔවුන් යහමඟට ගැනීමටත්, ඔවුන්ට සමාජය පිළිබඳව දැනීමක් ලබා දීමටත් සොබාදහම පිළිබඳ ඇල්මක් ඇති කරන්නත් මට මේ නිසා හැකි වුණා.

    මගේ මේ අත්දැකීම මුළු මහත් සමාජයටත්, දරු දැරියන්ටත් ලබා දීමට මා මේ අදහස පසු කලක ගීතයකට පරිවර්තනය කළා.”

    මෙම ගීතය පිලිබඳව කරුණාරත්න දිවුල්ගනේ මෙසේ තම මතකය අවදිකර තිබුනි. “දුවකට පියකු ගේ සෙනෙහස දැනැවෙන පිය සෙනෙහස පිළිබඳ ගීයක් මගේ ගායනා වැඩසටහනකට අවශ්‍ය බව මා මගේ හිත මිත‍්‍ර ගීත රචක රත්න ශ‍්‍රී විජේසිංහයන්ට කීවා.

    මං දුවණියක සෙනෙහස ගැන ලියැවුණු ගීයක් ඉල්ලා සිටියේ මටත් දුවණියක ඉන්නා නිසා. දුවකට සෙනෙහස දක්වන “අප්පච්චි” කෙනකු වශයෙන්, විශේෂයෙන් ම දරු සෙනෙහසේ දී මා හරිම සංවේදීයි. මං මගේ දුවට ආදරෙයි. ඒ වගේ ම මගේ දියණිය වගේ දියණියන් ලොව ලක්‍ෂ ගාණක් සිටිනවා. දියණියන්ට ආදරය දක්වන, සෙනෙහස දක්වන පියවරුන් අප‍්‍රමාණයි. එසේම මං කැමැති නැහැ මගේ දුව අරුමෝසම් වනාන්තරයක තනි වී අතරමං වෙනවට. මං කැමැති මගේ දුව සොබා දහමට ගහ කොළට කුරුල්ලන්ට ආදරය කරන සංවේදී දුවක වෙනවා දකින්නයි.”

    රෝහණ වීරසිංහයන් මෙම ගීතය පිලිබඳව දක්වා තිබුනේ මෙවන් අදහසක්. “ඔය ගීතය අරගෙන මා ළඟට ආ ‘දිවුල්’ මට කීවා මීට ඉතා අනුවේදනීය තනුවක් නිර්මාණය කරන්න යැයි කියා. එහි දී ඔහු මට තමා ගේ සිත සසල කළ ගීයක් උදාහරණ වශයෙන් ගෙන හැර පෑවා. ඒ සමිතා හා අතුල ගැයූ ‘සඳ තරු මල් මට දන් දුන්’ නම් ගීතය යි.

    ඔහු ඒ ගීය අසා දැඩි ලෙස කම්පිත වූ බවත්, එවන් සංවේදී තනුවක් මේ ගීයටත් අවශ්‍ය බව මට දිවුල් කීවා. හදිසි නොවී වෙලා අරගෙන හොඳ තනුවක් නිර්මාණය කරන ලෙස ඔහු මට කාලයද ලබා දුන්නා.

    ඒ ගීතයේ පදමාලාව ද මගේ සිතට හොඳින් කැ වාදුණා. මා මෙහි දී දරු සෙනහස උපරිම ලෙස දැනෙන ළයාන්විත සංගීතයක් නිර්මාණය කළා. මෙය දරුවන්ට ආදර්ශයක් විය යුතු පියකු තුළ ඇති වන පිය සෙනෙහස දන්වන ගීයක්. මේ පියා සිය දියණියට කියන්නේ සොබා දහමට අනුගත වූවොත් ඔබට මුළු ලොවට ම ආදරය කළ හැකි බවයි. ලෝකය තමන්ට ආදරය කරන්නේ ද තමා ලෝකයට ආදරය කළ පමණටමයි.

    මා මේ සියලු කරුණු සිතේ තබාගෙන මේ තනුව නිර්මාණය කළා.”

    බණ්ඩාර ඇහැළියගොඩ සරසවිය පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී මෙම ගීතය ගැන මෙසේ කියා තිබුනි.

    “සියටෙල්. ඔහුව හඳුන්වන්න හොඳම නාමය වන්නේ සොබාදහමේ ආදරණීය පියා ලෙසයි. සියටෙල් කියන මේ රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා හිටියේ අමෙරිකාවේ. ඔහුගේ ඉඩම මිලදී ගන්න අධිරාජ්‍යයා පැමිණියා. ඔහු සියටෙල්ගේ ඉඩම මිලදී ගන්න මිල ගණන් කැෙඳව්වා. සියටෙල්, අධිරාජ්‍යයාගෙන් අපූරු කතාවක් ඇසුවා. මේ පරිසරයේ තිබෙන මල්වලට, පැහැයට, සුවඳට මිලක් නියම කළ හැකිද ? පරිසරයේ ගලාගෙන යන ඇල පාරවල දිය හඬට, පෙණ පිඬුවලට මිලක් නියම කළ හැකිද ? ඔහු ප්‍රශ්න කළා.

    රත්න ශ්‍රී ගේ මේ ගීතයේම තිබෙන්නේ ඒ පණිවුඩය යි. ස්වභාවධර්මය නරඹන්නට, විඳින්නට ගී පද රචකයා දියණියට ආරාධනා කරනවා. එහි වඩා මා සිත් ගත් යෙදුම වන්නේ මෙයයි.

    “සේපාලිකා මල් බිමට බැහැලා
    ඇවිදින්න යන වෙලාවයි”

    අද දරුවන් පරිසරයෙහි තිබෙන ස්වභාව සෞන්දර්යයෙන් ඈත්වීම පද රචකයා වටහා ගන්නේ අපූරු අයුරින්. එදා අපට ගමේ පරිසරයෙහි විවෘතව තිබූ ලඳු, දෙණි, දෙවැට මැද්දේ ගමන අද දරුවන්ට අහිමිවීම අභාග්‍යයක්. ඇළ, දොළේ දියබුන් ගැසීම අද ඔවුන්ට ඇවැසි නෑ. අද ඔවුන් පරිසරය දකින්නේ තමන් තමන් කරන පුංචි දොර කවුළුවෙන්. ඒ දොර කවුළුවට සීමා නොවී එන්න පරිසරය දකින්න රත්න ශ්‍රී, දියණිය මඟින් ලෝකයටම ආරාධනා කරනවා. ඔහුගේ ගීතය පරිසරය විඳීන, බලන කවුළුවක් වැනි යැයි මට සිතෙන්නේ මේ නිසයි.”

    ඔබත් ඔබේ දරුවන්ට ලැබිය හැකි දේ පමණක් නොව විඳිය හැකි දේත් කියා දෙන්න.

    source : geepothaimeewithai.blogspot.com

Enable Notifications OK No thanks