සෝමපාල රත්නායක: සංගීතවේදීවරයකුගේ නික්ම යාම සිදුවී අදට වසර 7ක්

somapala_rathnayaka

ශ්‍රී ලාංකීය ගී ලොවේ අගනා නිර්මාණකරුවකු වූ මේ රැවුල්කාර සංගීතවේදියා 2017 ජූලි 18 වන දින ජීවිතයෙන් සමුගත්තේය. ඔහු සෝමපාල රත්නායක ය.

ජීවිත කතාව
කඩුගන්නාවේ ජේමිස් රත්නායක හා සුමනාවතී අබේකෝන් යුවළගේ දරුවන් එකොළොස්දෙනා අතරින් සිව්වැන්නා වූයේ සෝමපාල ය. තුන්වැන්නා වූයේ වික්ටර් රත්නායක ය. චෙලෝ වාදකයෙකු ලෙස සංගීත ලෝකයට ඇතුළු වූ ඔහු පසුව තනු නිර්මාණ ශිල්පියකු හා සංගීත අධ්‍යක්ෂකවරයකු ලෙස පෙරට ගියේය. විශේෂයෙන් චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයට ඔහු නම් දරා සිටියේ ය.

රැවුල සහ රැහැය
ඔහු රැවුළ කැපුවේ විවාහ වූදා පමණක් බව ප්‍රකට කාරණාවකි. අනෙක් හැමදාම අප ඔහු දුටුවේ මුහුණ පුරා වැවුණු රැවුළ හා බොහෝ විට දිගු කොණ්ඩය සහිතවය. පසුකාලයේ එය සහමුලින්ම සුදු රැවුළක්ව තිබුණි.

සංගීත නිර්මාණ
ටයිටස් තොටවත්තයන් හැදූ ‘හඳයා’ අති ජනප්‍රිය ළමා චිත්‍රපටයෙන් චිත්‍රපට සංගීත ලෝකයට ආ සෝමපාල රත්නායක ඉන් පසුව සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ උතුමාණෙනි, සාගරයක් මැද, කොටි වලිගය, නොමියෙන මිනිසුන්, අන්තිම රැය වැනි චිත්‍රපටවල මෙන්ම රිදී තැල්ල, පොඩි රාළහාමි, ඔක්කොම රජවරු, දෙමෝදර පාලම, රජදරුවෝ, බඹසර බිසව්, වරදට දඬුවම්, පාරාදීසේ, අනුරාගයේ අනන්තය, දරුවනේ, සිංහයා වැනි චිත්‍රපටවලද සංගීත නිර්මාණය කර තිබේ.

ප්‍රසිද්ධ ගීත
සෝමපාල ලීලානන්ද ලියා, සෝමපාල රත්නායකගේ සංගීතයට ග්‍රේෂන් ආනන්ද ගැයූ “බිලිඳුනේ දරුවනේ මගෙ” ගීතයෙන් ග්‍රේෂන් සම්මානනීයත්වයට පත් විය.

නිර්මාණ පරාසය
එච්. ආර්. ජෝතිපාල සහ ඩෙස්මන් රුද්‍රිගුට ‘පාරාදීසේ’ චිත්‍රපටය සඳහා එම ගීය හැදූ ඔහුම ‘නොමියෙන මිනිසුන්’ චිත්‍රපටය සඳහා ‘මිහිපිට බිම් අඟලක්’ ගීතය පණ්ඩිත් අමරදේවයන් වෙනුවෙන් නිර්මාණය කිරීමම ඔහුගේ නිර්මාණ පරාසය විහිදුනු අයුරු දක්වන උදාහරණයකි.

සංගීත අධ්‍යක්ෂණ
දිනේෂ් ප්‍රියසාද්ගේ ‘පෙරළිකාරයෝ’ ඇතුළු ඇතැම් චිත්‍රපටවල හින්දි තනු අනුව සංගීත අධ්‍යක්ෂණය කරන්නට ද සෝමපාල රත්නායකට සිදුවිය. කරුණාරත්න අබේසේකර ශූරීන් ලියූ අවසාන චිත්‍රපට ගීතය වූයේ එසේ ඔහු හින්දි තනුවක් අනුව සංගීත අධ්‍යක්ෂණය කළ ‘ජයමංගලම් සුබමංගලම් යුග ජීවිතේ වාසනා’ (පෙරළිකාරයෝ චිත්‍රපටයට ජෝති ගැයූ) ගීතයයි.

රංගන ක්ෂේමතා
රිදීතැල්ල, වරදට දඬුවම්, පාරාදීසේ, පෙරළිකා‍රයෝ ඇතුළු චිත්‍රපට ගණනාවකම ජෝති ඔහුගේ සංගීතයට ගීත ගායනා කළේය.

අවසන් කාලය
හදිසියේ රෝගීවීම හේතුවෙන් 2017 ජූලි 17 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි ඔහු ඊට පසු දින එනම් 2017 ජූලි 18 වන දින ජීවිතක්ෂයට පත්විය. එවිට ඔහුගේ වයස අවුරුදු 69ක් විය. ඔහු අපෙන් සමුගෙන අදට වසර 7ක් වෙනවා.

Somapala Rathnayake rathnayaka