Lyrics of Me Kirula
මේ කිරුළ බර වැඩියි දේවී
ගිනි ගැනී ළය රිදුම් දේවී
ඔබම පැළදූ සිරස
ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රදයි දේවී
එයම මට බර වැඩියි දේවී
සද කිදුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපථ කල
ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මග මෙයින් නිම වේවී
සමුගන්න අවසරයි ස්වාමී
මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මග නොමග කියාදුන්
ඇදුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සදකිදුරු දේවී
මිතුරියක සොයුරියක
මවක පිය සොදුරියක
මග නොමග කියාදුන්
ඇදුරුතුමියව වරෙක
ආ ගමන නිමාකර ඒවී
නික්මයයි සදකිදුරු දේවී
රැයම නොනිදා රැදී
මගේ නෙතු මත හිදී
මතක ගිළිහෙනු නොදී
ඔබම සිත පිරිමදී
සසරමග අතනොහැර පේවී
යළි එකට මුණගැහෙමු දේවී
දෙසිත් යාකර බැදී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහයම පාමී
අපි යළිදු මුණගැහෙමු ස්වාමී
Me Kirula – Amarasiri Peiris & Umaria Sinhawansha
සටහන : කුමුදි නයනතාරා | විද්‍යා පීඨය
ප්‍රවීන ගායන ශිල්පී විශාරද අමරසිරි පීරිස් සහ නවක පරපුරේ අති දක්ෂ ගායිකා උමාරියා සිංහවංශ හඬ සුසංයෝගයෙන් හැඩගැන්වුණු “මේ කිරුළ” ලෙස නම් කර ඇති මේ ගීතය මෑත කාලයේ අසන්නට ලැබුණු සහෘද සිත් සංවේදී කර නෙතට කඳුළක් එක් කිරීමට සමත් වූ ගීතයකි. බණ්ඩාර ඇහැළියගොඩ නම් වූ ප්‍රවීණ ගීත රචකයාණන්ගේ තෙළි තුඬින් හැඩ ගැන්වී ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ මියුරු පද රටා අතරට අමරසිරි-උමාරියා හඬ සුසංයෝගය එක් වූ කල ශ්‍රාවක සිත් සතන් නිවාලීමට මෙම පදරුත් මෙන්ම සංගීතය ද පිටිවහල් වන බවද කිව නොවමනා ය.
දුකක්, කළකිරීමක්, ආවේගයක්, පීඩනයකින් පෙළෙන කල්හි මෙවන් ගීයක් එම සිතැඟි සියල්ල මොහොතකින් පළවා හැරීමට ඔසුවක් ම වෙයි.
මෙහි එන පද පේළි මෙන්ම සංගීතය ද මොහොතකට අප සංවේදී කර ඇසට කඳුලක් එක් කිරීමට සමත් වෙයි. ලොව පොදු ධර්මතාවයක් වන පියවිප්පයෝගයක් පිළිබඳව මෙම ගීයෙන් ප්‍රකාශ කිරීමට තැත් කරන බව මගේ අදහස යි.
“ලොව ඇත්තේ යාම් සහ ඊම් ය. නෑවිත් යන්නට බැරි ය. නොගොස් එන්ට බැරි ය.” මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයාණන්ගේ මළවුන්ගේ අවුරුදු දා නවකතා පොතේ එලෙස සඳහන් වේ. ආදරය, මිලමුදල්, දේපළ, යාන වාහන මේ සියල්ල මරණය අභියස අපට අත් හැරීමට සිදුවන බව ඒකාන්තයි. දෙමව්පියන් , සහෝදරයින් සහ අප ආදරය කරන සියල්ල අතහැර එදින යා යුතුව ඇත. මෙහි තමා බොහෝ සේ ආදරය කරන බිරිඳගේ වියෝව දරාගැනීමට ආදරණීය සැමියෙක් දරන උත්සාහයත්, අවසන් සමුගැන්ම අභියස තම ස්වාමියාගෙන් ඊට අවසර පතන ආදරණිය බිරිඳකගෙත් සිතෙහි පැන නඟින සිතුවිලි දෙබසක ආකාරයෙන් ඉදිරිපත් කරන බැවින් මෙහි එන සිදුවීම ශ්‍රාවකයන් හට භාව හැඟීම් මනාව උද්දීපනය කිරීමට සමත් වෙයි.
ප්‍රේමය යනු හිමි කර ගැනීම ද? අහිමි වීම අභියසත් දරා ගැනීම ද? එසේත් නැති නම් හිමි වීමේත් අහිමි වීම සටහන්ව පවතින බව අවබෝධ කරගෙන අහිමි වීම් අභියස ද වැටෙන්නට ඉඩ නොදී ජීවිතය ගෙන යා යුතු බව වටහා ගැනීම ද???
“මේ කිරුළ බර වැඩියි දේවී
ගිනි ගැනී ළය රිදුම් දේවී
ඔබම පැළඳූ සිරස
ප්‍රේමයේ මිණි කිරුළ
තවම මා හිස රඳයි දේවී
එයම මට බර වැඩියි දේවී….”
මෙහි කිරුළ යනු ඇය විසින් ඔහුට පුද කරනු ලැබූ ප්‍රේමයයි. කලෙක මුළු ජීවිතයම මාහැඟි සම්පතක්, සතුටක් වූ ඒ ප්‍රේමය නම් කිරුළම අද ඔහුගේ වියෝ දුකට හේතුවක් වී ඇත. ඇය පුද කළ ප්‍රේමය කොතෙක් වී ද යත් එයම දැන් ඔහුට දරා ගැනීමට නොහැකි දුකක් බවට පත් වී ඇත. අප යමක් කෙතරම් දැඩිව අල්ලා ගන්නේ ද එතරමටම එය අත් හැරීමට අපහසු වන බව දිනෙක අපට වැටහෙනු ඇත. ප්‍රේමයටත් එය පොදු ධර්මතාවයකි. දෙදෙනාගෙන් එක් අයෙකුට ඉක්මනින් යන්නට සිදු වේ. එහිදී අපට අනෙකාගේ වියෝව කෙසේ හෝ දරා ගත යුතුව ඇත.
“සඳ කිඳුරු භවේ සිට ආමී
දුක සතුට සමව ඉවසීමී
එදා සිට සපත කළ
ප්‍රේමයෙන් ආතුරව
පැමිණි මඟ මෙයින් නිම වේවි
සමුගන්න අවසරයි ස්වාමී”
ප්‍රේමය පිළිබඳ කථා කරන විට සිද්ධාර්ථ -යශෝධරා ප්‍රේමය පිළිබඳව කතා නොකළහොත් එය අඩුවකි. මන්ද එය ලොව ඇති පරම පිවිතුරු ප්‍රේමයකි. ලේන කුලේ සිට බුදු බව ලබනා ජාති දක්වා බෝසතාණන්ගේ සෙවණැල්ලක් මෙන් සසර චාරිකාවෙ පාදපරිචාරිකාව වූ ඇය යශෝධරා ලෙසින් බුදු වන ආත්මයේ දීත් ඔහුවම පැතුවා ය. සියල්ල අතැර නික්මුණත් ඔහුගේ සුඛවිහරණයම පැතුවා ය. එසේ සසර ගමන සරන කල්හි එක් ආත්ම භවයක සඳකිදුරන් ලෙස උපත ලැබ තම සඳකිඳුරු ස්වාමියාට හී පහර වැදුණු කල්හි පවා ඔහු අත නොහැරියා ය. එලෙසට මෙහි සඳහන් ඇය ද සැපේදී පමණක් නොව දුකේදිත් ඔහු අත නොහැර එකට හිඳින බව සපථ කල පරිදි දුකේදීත් සැපේදීත් ඔහූ පසුපස රැඳුණ බව ආවර්ජනය කරයි.
“මේ භවයේ එලෙස නුඹ හා බැඳී ගෙවූ දිවිය අවසන් කර නික්ම යා යුතු මොහොත එළඹී ඇත..ඉතින් ඒ සමුගැන්මට අවසර පතමි”
“මිතුරියක සොයුරියක
සෙනෙහසම පිදු මවක
මඟ නොමඟ කියාදුන් ඇඳුරුතුමියයි වරෙක
සංසාර සාගරෙන් පාවී
මවෙත ආ සඳ කිඳුරු දේවී”
ඇය ඔහුගේ ජීවිතය තුළදී විවිධ කල්හී නිරූපණය කළ චරිත ඔහු ආවර්ජනය කරයි.එනම් බිරිඳක් ලෙස ඇය තම ස්වාමියාට සියළු යුතුකම් ඉටු කර ඇත. “ඉතින් පෙර භවයක පුරුදු ලෙස මා සොයා ආ නුඹ ජීවිතේ වසන්ත කාලයේ මෙන්ම කඨොර ඉඩෝරයෙත් අසනි වැසි ගෙන ආ, සසර සාගරයෙන් පාවී මා සොයා ගෙන ආ මගේ චන්න කින්නරාවියයි.”
“මිතුරියක සොයුරියක
මවක පිය සොඳුරියක
මඟ නොමඟ කියාදුන් ඇඳුරුතුමියව වරෙක
ආ ගමන නිමා කළ හෙයිනී
නික්ම යයි සඳ කිඳුරු දේවී…”
මිතුරියක්, සොයුරියක්, මවක්, බිරිඳක් මෙන්ම මඟ නොමඟ පෙන්වූ ඇඳුරුතුමියක් ලෙසට මෙතෙක් ඔහු අසළ රැඳි ඇයට ඇගේ ජීවන ගමන නිමා කිරීමට කල් එළඹ ඇත. “මේ සසර ගමන් මඟේ අප කොතෙක් හමු වී වෙන්වී ඇත් ද? ඉතින් මෙයද එලෙස තාවකාලික වෙන්වීමකි.”
‘රැය ම නොනිදා රැඳී
මගේ නෙතු මත හිඳී
මතක ගිළිහෙනු නොදී
ඔබ මසිත පිරිමදී
සසර මඟ අත නොහැර පේවී
යළි එකට මුණ ගැහෙමු දේවී”
මතක අමතක කිරීමට කොපමණ වෑයම් කළඳ සිතුවිල්ලක් සිතුවිල්ලක් ගානේ ඇය සැරිසරයි. කෙසේ අමතක කරම්ද. මේ සළු, මේ වටපිටාව ඇසිපිය ගසන හැම තැනම ඇගෙ සුවඳ, ඇගෙ මතක. ඉතින් කෙසේ ඇස් පියාගන්නද හැම සිතුවිල්ලක්ම නුඹෙන් පටන් ගෙන නුඹෙන් ම අවසන් වන කල්හි? සසර මඟ මෙයින් අත් නොහැර මා වෙනුවෙන්ම මෙතෙක් දුර පැමිණි ලෙසටම ඊළඟ භවයෙදිත් තමා සොයාගෙන පැමිණෙන ලෙස ඔහු ඇයට ආයාචනා කරයි..
“දෙසිත් යා කර බැඳී
ප්‍රේමයට ඉඩ නොදී
යන මොහොත ඇත යෙදී
මේ භවය මට මදී
පෙර පුරුදු ස්නේහය ම පාමී
අපි යළිඳු මුණ ගැහෙමු ස්වාමී…”
අප සතු කොතරම් භෞතික වස්තු, සම්බන්ධතා තිබුණද මේ කිසි දෙයක් රැගෙන යා නොහැකි වන්නාසේම ප්‍රේමයටත් එය එලෙසමයි. මරණය හමුවේ ඇයට සියල්ල අත් හැර යන මොහොත උදා වී ඇත.. සසර පුරුද්දට අතිනත ගෙන පැමිණි ගමනේ මේ භවයට ඔහුගෙන් නික්ම යන මොහොත එළඹ ඇත. ඒ සසර බැඳි ප්‍රේමයට මේ භවය ඇයට ප්‍රමාණවත් නැත. සසර පුරුදු ලෙස හමුවී බැඳුණු ලෙසටම නැවත භවයකත් ඔහුව හමුවී පෙර ලෙසම ප්‍රේමයෙන් බැඳෙන බව සපථ කරන ඇය අවසානයේ නික්ම යන්නට අවසර පතයි.
නිමාවක් ඇරඹුමක් නැති මේ සංසාර ගමනෙ හති වැටෙමින් ගමන් කරන අප විවිධ නවාතැන්පලවල් වල යළිදු මුණ ගැසෙනු ඇත. එකල්හි අප අපේ යැයි අයිති කර ගන්නා භෞතික හෝ සංකල්පමය බැඳීම් අප අතින් ගිලිහෙනු ඇත. ඉතින් එලෙස හමු වී වෙන් වෙන අප නැවතත්, නැවත නැවතත් හමු වී හිමි වී, අහිමි වී නන්නාඳුනන ලෙස සසර සැරි සරනු ඇත. අද දිනයේ නන්නාඳුනන්නන් ලෙස හිඳින ඔබ, මම මතු භවයක පෙම්වතුන් සහෝදරයන්, දෙමව්පියන්, මිතුරන් වී මුණ ගැසෙනු ඇත. ඉතින් මේ සියලු බැඳීම් තාවකාලිකයි. ඒ මේ සසර ගමනේ ස්වාභාවයයි.
ඉතින්, මේ මට මේ ගීතය ඇසීමෙන් පසු එය දැනුණ ආකාරයයි. එය ඔබට වෙනත් ආකාරයකින් දැනෙනු ඇත. ගීතය රසවිඳි ඔබටත්, තවම රස නොවිඳි ඔබටත් දෑස් පියන් නැවත ගීතය මෙන්ම එහි තනුව, සංගීතය, පදරුත් විමසිල්ලෙන් යුතුව ශ්‍රවණය කරන ලෙස ආරාධනා කරමි. එය ඔබට වෙනස්ම මානයකින් රස විඳීමට හැකිවනු ඇතැයි සිතමි.
ප.ලි : ජීවිතේ අපිට හම්බවෙන බැඳීම් හරිම පුදුමයි. ඉපදුන දවසෙ ඉඳන් අපි ගොඩනගාගන්න බැඳීම් අපිව ජීවිතේ වෙනස් මානයන්ට දිශානති කරනවා. ඒ එක බැඳීමක්වත් වෙනත් බැඳීමකට ආදේශ කරන්න යන්න එපා. මොකද ඒ හැම එකක්ම එකිනෙකටම ආවේණික වුණ බැඳීම්. ජීවිතේ කියන පොතේ ඔබ දැන් කියවමින් හිඳින පරිච්ඡේදය ඔබට මහා දුකක් වුණත් නීරස වුණත් ඔබට මේ පොත ඉවර වෙනකම් ඉවසීමෙන් කියවන්න වෙනවා. එහි දී කිසියම් අයෙකුගේ සමුගැනීම්, අහිමි වීම්, සිත් රිදවීම්වලට ඔබ දක්වන ප්‍රතිචාරය මත ඔබේ ජීවිතේ ඊළඟ මොහොත තීරණය වෙනවා. ඒ හැම කෙනෙක්ම ඔබේ ජීවිතේට දරා ගැනීමේ පාඩම කියාදෙනවා. ඉතින් ඒ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරාගන්නට ඔබට පුළුවන් නම් ජීවිතේ විඳවනවා වෙනුවට විඳින්නට හැකි වනු බව නියතයි.