සඳ හොරෙන්

Lyrics

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
වළා රොදක සැඟවිලා
අපේ මියුරු පෙම් කතා
අසා සිටීනවා
අසා සිටීනවා

කඳුලු බින්දු ගලා සඳේ තුරුලතා පුරා
සියොලඟම සැලී මගේ නොනිම් සීතලේ
ඔබේ නෙත යදී ..
මහද වියරුවෙන්

සඳ හොරෙන් …

කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටි මගේ සිතුම් සසලවයි
නිවාලන්න මා ..
ඔබේ සිසිලසින්

සඳ හොරෙන් …

Sanda sada horen bala – Pandith W. D. Amaradewa amaradeva

More from RogueOne

1 Comment

  1. සිංහල සුුභාවිත ගීතයේ ආ ගිය මඟ විමසා බලන විට එකී මෙඟහි නොමැකෙන සළකුණක් ලෙස ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ නාමය ජනිත වී තිබේ. හෙතෙම සිය නාද රසයෙන් සුපෝෂණය කර ගීත සාහිත්‍යයට දායාද කරන ලද ගීතයන් ප‍්‍රමාණය සංඛ්‍යාත්මක අයුරින් කිව නොහැකි තරම් වෙයි. ඔහු එවැනිම තවත් නොමැකෙන සළකුණු ද්විත්වයක් සමඟින් එක් වී ඉතා අපූරු ගීතයක් නිර්මාණය කරයි. එම ගීතයට හඬ මුසු කරන්නේ හෙළයේ මහා ගාන්ධර්වයාණන් යන විරුදාවලිය ලත් පණ්ඩිත් අමරදේවයන්ය. අපූරු පද සංකල්පනා තුළින් එම ගීතය රසාලිප්ත කරනුයේ කුලරත්න ආරියවංශ නම් අපූරු ගේය පද රචකයා විසිනි. එම අපූර්ව වූ ගීතය නම් ”සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා…” ගීතයයි.

    සාහිත්‍යයේ පවතින නව නළු රසයන් අතරින් එක් රසයකි ශෘංගාර රසය. මෙම ශෘංගාර රසය ආකාර දෙකක් වෙයි. එනම්, විප‍්‍රලම්භ ශෘංගාරය සහ සම්භව් ශෘංගාරයයි. වෙන්වීමේ දුක නිසා ඇතිවන සාහිත්‍යමය රසය සහ ප්‍රේමයේ එක්වීම නිසා ඇති වන රසයයි. මෙම ගීතයේ ගැබ් කොට ඇත්තේ පෙම්වතුන් දෙදෙනෙක් එක්වීමේ ශෘංගාරයයි. මෙම අපූර්ව වූ ප්‍රේමයේ ශෘංගාරාත්මක භාවයත් එය ඉදිරිපත් කරන සංයමයත් ඒ හා ගැළපෙන ලෙස මුසු කර ඇති සංගීත ස්වරයත් රසවිදින්නා මෝහනය කිරීමට සමත්ය. එය අගය කළ යුත්තකි.

    ”සඳ හොරෙන් හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැඟවිලා
    අපේ මියුරු පෙම් කතා
    අසා සිටිනවා”

    රාත‍්‍රිය යනු ප්‍රේමණිය මොහොතකි. පෙම්වතුන්ගේ එක් වීමේ මොහොත රාත‍්‍රියයි. එසේම සාහිත්‍ය පුරාම සඳ යන පදය පෙම්වතුන්ට ඉතා සමීප බවක් දක්වයි. මෙම ගීතයේදී සඳහන් අන්දමට ප්‍රේමවන්තයින් දෙදෙනෙකු එක් රාත‍්‍රියක පෙම් සුව විදීමක් දැක්වෙයි. රාත්‍රිය සහ සඳ යොදා ගනිමින් පරිසර වර්ණනාවක් ඉදිරිපත් කරන ආරියවංශයන් මෙහිදී සඳ සජීවි වස්තුවක් ලෙස ඉදිරිපත් කර ඇත. මෙහිදී සඳ හොරෙන් හොරෙන් හොරෙන් ලෙස තෙවරක් යොදා අනුප‍්‍රාස රසය සමඟින් සඳෙහි ප‍්‍රාණවත් බවත් ප්‍රේමවන්තයින් දෙදෙනාගේ ප්‍රේම ජවනිකාවත් තීව‍්‍රකොට දක්වා ඇත. කුලරත්න ආරියවංශයන් මෙම රාත‍්‍රී යාමයේ ප්‍රේම කතාවක යෙදෙන පෙම්වතුන් දෙදෙනාගේ ප්‍රේමයේ තිබෙන ශෘංගාරාත්මක බව ඉතා සියුම් ලෙස දක්වමින් සඳට පවා එය බලා සිටීමටත් බලා නොසිටීමටත් නොහැති බවක් පවසයි. විටෙක සඳට ලැජ්ජාවක්ද ඇතිවන නිසා සඳ වළාරොදේ සැඟවීගෙන හොරෙන් ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය දෙස බලා සිටින බවක් දක්වන්නේ ඉතා සංයමයෙන් යුතුව එම අවස්ථාවේ පවතින ලිංගිකත්වයක් පිළිබඳ පවසමිනි. බොහෝ අයෙකුට මෙය අතිශෝක්තියක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත. නමුත් සඳ සහ පරිසරය යොදා ගෙන මෙම අවස්ථාව ඉදිරිපත් කිරීම රචකයාගේ දක්ෂතාව සහ සාහිත්‍ය සංයමය විදහා පාන්නක් වන්නේ මෙම ප්‍රේම ජවනිකාව පුද්ගලයෙකු දැකීමක් සඳහන් කිරිම ශිෂ්ට සම්පන්න නොවන නිසාත් එයින් නියම සාහිත්‍ය රසයක් ලබා ගැනීමට නොහැකි වන නිසාත්ය.

    ”කඳුළු බිදු ගලා සඳේ
    තුරුලතා පුරා”

    විරහව පිළිබඳ අර්ථකතන ගෙනහැර දැක්වීමේදී කඳුළු යන සාධකය කිසිදු අයුරකින් හෝ අමතක කළ නොහැකිය. එසේනම් මෙහිදී ආරියවංශයන් කඳුළු යන වදන තම පද වැලට ඉතා අපූරු ලෙස මුසු කරමින් සඳෙහි ආලෝකයත් සමඟ දිස්නය දෙන පිණි බිඳු සඳෙහි කඳුළු බිඳු ලෙස උපමා කොට වෘක්ෂයන් පුරා විසිරී යන බව දක්වයි. එසේනම් මින් ගම්‍ය වන්නේ සඳ හඬන බවයි. සැබවින්ම සඳහඬන්නේ කුමන කරුණක් නිසාවෙන්ද? සඳ නම් තනිකඩයෙකි. එසේනම් තනිකඩයෙකුට තවත් පෙම් යුවළක් පෙමින් බැඳී සිටීම හා ඔවුනොවුන් ප්‍රේමයේ නොඉඳුල් සුවය විඳීම බලා සිටීම සිඳු කළ නොහැක්කකි. එසේ නම් සඳ තුළින් සංකේතවත් කරන්නේ තනිකඩයෙක් හෝ ප්‍රේමයේ විරහ වේදනා විදින්නෙකු වේ. ඔහු හෝ ඇය කෙරෙහි මෙකී පෙම් යුවළ කෙරෙහි පවත්නා ලිංගික ඊර්ෂ්‍යාව යන සාධකය ප‍්‍රබල ලෙස ඉස්මතු කර ඇතැයි සිතීම වැරද්දක් නොවේ. සඳ යන අජීවී වස්තුවට ජීවී බවක් ගෙනහැර පාමින් ලිංගික ඊර්ෂ්‍යාව වැනි ප‍්‍රබල කරුණක් ශෘංගාරාත්මක අයුරින් මෙන්ම ඉතා සියුම් සංවරශීලි බස් වහරක් යොදා ගනිමින් පැවසීමට ආරියවංශයන් පද වැල් ගළපන ආකාරය අපූරු සහගත වේ.

    ”සියොළඟම සැලී මගේ
    නොහිමි සීතලේ
    ඔබේ නෙත යදී
    මහද වියරුවෙන්”

    මේ අයුරින් ප්‍රේමයේ ශෘංගාරාත්මක බව එසේත් නැතිනම් ප්‍රේමන්විත ලිංගිකත්වය නම් සැඟවුණු පැතිකඩ ඉතා සියුම් ලෙස පද රචනයේදී ආරියවංශයන් මනා හික්මීමෙන් යුතුව සිය පදවැල් තුළට එක් කරයි. මෙහිදී ”සීතලේ” යන වදන ඉතා ප‍්‍රබලව යොදා ගනියි. මෙම සීතල ප්‍රේමාන්විතය. ඉතා ප‍්‍රියකරය. ඔහුට මෙම සීතල සීමාවක් නොමැතිව දැනෙන්නා වූ සීතලකි. මෙය අවට පරිසරය තුළින් ස්වාභාවික ලෙස දැනෙන සීතලක් නොවේ. තම ප්‍රේමවන්තියගේ උණුසුම තම කය වෙත සංතර්පණය කොට ගැනීමට ඔහු තුළ ඇතිවන ආසාව කියා පෑමට යොදන උපායයි. ඔහු එම උණුසුමට පෙම් බඳියි.මෙහිදී කුලරත්න ආරියවංශයන් ඉතා ව්‍යංගානුරූපිව සඳහන් කරන්නේ ලිංගිකත්වයයි. මෙම ප්‍රේමවන්තයා තම ප්‍රේමිය වෙත සිදුකරන ලිංගික ආරාධනයක් උක්ත පද වැලින් ගම්‍ය කරන්නේ පද රචනයේදී ඉතාමත් සංයමයක් දක්වමිනි.

    ”කියුඔු වැල් ලිහී ඔබේ
    මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ
    සිතුම් සසල වෙයි
    නිවාලන්න මා
    ඔබේ සිසිලසින්”

    ලිංගිකත්වය යන කරුණ සහ ශෘංගාරය යන්න රචකයා තවදුරටත් විග‍්‍රහකොට දක්වයි. ලිංගිකත්වය මත ස්පර්ශය, සිපගැනීම, වැළඳගැනීම, ලිංගික සංසර්ගය මනා ලෙස ගැබ්ව පවතී. එහෙක් මෙහිදී රචකයා ස්පර්ශය යන සාධකය හා ස්වාභාවික පරිසරය තුළ අපට හමුවන සාධකයන් සුසංයෝගයට ලක් කරයි. එනම් සුළඟ හෙවත් මාරුතයයි. කියුඔු වැල් යනු ස්ත‍්‍රියගේ කොණ්ඩයයි. මෙහිදී ස්ත‍්‍රියගේ කේශාවන් සුළඟට සැලෙයි. එු තුළින් ප්‍රේමාන්විතයාට මෙය ස්පර්ශ වේ. එතුළින් ඔහු සුවදායක සතුටක් ලබයි. මෙය ස්වාභාවික පරිසරයේ බලපෑමකින් ඉබේ සිදුවන ක‍්‍රියාදාමයකි. නමුත් ප්‍රේමවන්තියගේ කේහ කලාපය මේ අයුරින් ස්පර්ශ වීම ප්‍රේමවන්තයා ලබන්නේ ශෘංගාරාත්මක රසයකි.

    එපමණක් නොව තම ප්‍රේමවන්තියගේ ස්පර්ශයෙන් ප්‍රේමවන්තයා හට කායික මෙන්ම මානසික සුවයක්ද ඇති වේ. සැබැවින්ම සැබෑ ප්‍රේමයක් තුළ මිනිසුන්ගේ මානසිකත්වයට සිදුකරනු ලබන්නේ විශාල බලපෑමකි. ලිංගික සංතර්ලණය එහිදී සුවිශේෂී අවස්ථාවක් වේ. ඒ තුළ ලබන රසය හා ඒ තුළ ලබන මනදොල පිනවීම මත සිතුවිලි වෙනස් කිරීමට හේතු වේ. ඒ තුළ ඇති වන්නේ ප්‍රේමයද ලිංගිකත්වය ද එක් වූ මානුෂීය හැඟීමකි.
    එකී මානුෂීය බැඳීම විඳිනු ලබන පේ‍්‍රමාන්විතයෙකුට ඉන් මිදීමට නොහැකි වේ. තවදුරටත් එය අවැසි වේ.

    ”නිවාලන්න මා ඔබේ සිසිලසින්”

    ශිෂ්ට සම්පන්න ප්‍රේමයක් තුළ ඇතිවන ලිංගික බැඳීම පුදුමාකාරී වේ. එය නොමඟ ගියවුන් සුමඟත්වයට පත් කිරීමට මනා පිටුවහලක් බවට පත් වේ. ප්‍රේමාන්විතයන්ගේ තුළ වූ කාමුකත්වය නැති වී මානුෂීය ගති පැවතුම් ඉහළ නැංවීමට මෙම ප්‍රේමය මෙම සබැඳියාව හේතු වී තිබේ. ඉහත පද වැලෙහි ”සිසිලස” යන වදනින් ගම්‍ය වන්නේ එකී සුන්දරත්වය නොහොත් එකී මානුෂීය බැඳීමයි.
    ගීතයක ප‍්‍රබලත්වයට එහි පබැඳුම මෙන්ම සංගීතයද ගෙනදෙන්නේ මනා පිටුවහලකි. එබැවින් මෙහිදී පේ‍්‍රමදාසයන්ගේ ස්වර රචනය පිළිබඳවද සැලකීම වැදගත්ය. ඔහු මෙහිදී බතා ප‍්‍රබල ලෙස වයලීනය භාවිතා කරමින් අපූරු ධ්වනිතාර්ථ මතු කොට තිබේ. සැබැවින්ම ඉන් මතුකර ඇත්තේ ප්‍රේමය හා ඒ තුළ වූ ශෘංගාරාත්මක රසයයි. එමෙන්ම ගීතයේ බොහෝ තැන්වල ”ම් ම් ම්” යන ස්වරාලංකාර භාවිතය තුළ අපූරු රසයක් ජනිත කොට තිබේ. එය ගීතයේ අර්ථය උපරිමය දක්වා ඔසවා තැබීමට උපකාරී වී තිබේ. එසේම මෙම ශෘංගාරාත්මක රාත‍්‍රිය රසික දෑස් ඉදිරියේ ප‍්‍රතිනිර්මාණය කිරීමට ”චෙලෝ” නමැති සංගීත භාණ්ඩයද කේමදාසයන් මෙහි සංගීතය මුසු කිරීමේදී යොදා ගැනීමත් මනාවට ආරියවංශයන්ගේ පද වැලට අලංකාරයක් ගෙන දෙයි.

    සමස්තක් ලෙස කුලරත්න ආරියවංශයන්ගේ පද බැඳුමත්, කේමදාසයන්ගේ ස්වර රචනයත්, පණ්ඩිත් අමරදේවයන්ගේ හඬ මාධුර්්‍යයත් මුසුව නිමැවුනු ”සඳ හොරෙන් හොරෙන්” ගීතය ප්‍රේමය තුළ වූ ශෘංගාරාත්මක රසය ප්‍රේමය තුළ වූ ලිංගිකත්වය මනා ලෙස ස්වාභාවික ලෙස අතිශය සංයමයෙන් යුතුව පවසමින් අපූර්ව වූ අර්ථාන්විත මෙන්ම අපූර්ව වූ ශබ්ද රසයෙන්ද පෝෂණය වූ නිර්මාණයක් ලෙස අගය කල හැකිය.
    – සුමේධා රත්නසිරි –
    sumedarathnasiri.blogspot.com

Enable Notifications OK No thanks