Lyrics Of Pawanata Salena
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයිදෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ
මල් ඇතුරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආල වඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ
ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඳ
පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයිදෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ
Pavanata Salena – T . M .Jayarathna
ගීතය රචනා කරන්නෙ ප්‍රවීණ සිනමා කරුවකු වන ධර්මසිරි බණ්ඩාරනායක මහතා. මෙවැනි ගීතයක් රචනා කිරීමට හේතුව කුමක්දැයි කියා පැහැදිලිවම සඳහන් නොවුනත් එය ඔහුගේ ජීවිතයේ ඇතිවූ යම් කම්පනයක ප්‍රතිපලයක් බව ඔහු පවසනවා. ගීතයේ සඳහන් ආකාරයේ සිදුවීමක් සිදුවුවහොත් එය කොතරම් වේදනාජනකද කියා සිතා බැලීමෙන් සිතට එකතු වූ අදහස් අනුව ඔහු මෙය රචනා කළ බව පවසනවා. ගීතයේ සැම තැනකම සඳහන් වෙන්නේ ස්ත්‍රිය තම පෙම්වතාත් සමග සතුටින් දිවි ගෙවන අතරතුර ඇගේම දරුවා පියා සමග දුකෙන් කල් ගෙවන බවයි.
ඔහු මෙම ගීතය රචනා කළේ ටී.එම්.ජයරත්න මහතාගේ ඉල්ලීමක් අනුව 1970 දශකයේ. ඔවුන් එකල ඒකාධිපති නාට්‍යය සඳහා සුදානම් වෙමින් සිටියා. ටී.එම්.ජයරත්න මහතාගේ සරල ගී එකතුවකට ගීතයක් මදි වූ නිසා ධර්මසිරි බණ්ඩාරනායක මහතාගෙන් ගීත රචනාවක් ඉල්ලා සිටියා. පද පෙළ ලියා දුරකතනයෙන්ම කේමදාසයන් හට දැන්වුවා. කේමදාස මහතා එයට අලංකාර තනුවක් යෙදුවා. ගිටාරය භාවිතයෙන් එකතු කළ ඒ හැඟුම්බර සංගීතය ගීතයේ වේදනාත්මක ස්වරූපය වඩාත් ඉස්මතු කරන්නක්. ඔහු බලාපොරොත්තු වූ අයුරෙන්ම මෙම ගීතය ජීවිතය පුරාම අමතක නොවන ගැඹුරු වේදනාකාරී හැගීම් සමූහයක් සිතට ලබාදෙන ගීතයක්.
දරුවෙකුට මවකගේ ආදරය, කරුණාව, සෙනෙහස අවශ්‍යමයි. මවක් නැති අඩුව පියෙකුට සපුරන්න කොහෙත්ම බැහැ. පියෙකුගෙ සෙනෙහස මව් සෙනෙහසට සම කරන්න කොහෙත්ම බැහැ. ඒත් මවක් නැතිව දරුවෙකු හදන්න පියෙකුට සිද්ධ වුණොත්…
“පවනට සැලෙනා දොඹ මල් සුවඳින්…
ආදර හසරැල් මුවට නැගෙයිදෝ…
සවනට කොඳුරා පවසන වදනින්…
ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ…”
දොඹ මල් සුවඳ වඩාත් වැඩියෙන් දැනෙන්නේ සුළං හමද්දී. ඒ සුවඳට මුවඟ ආදරණීය සිනා උපදීවිද… කණට ළං වෙලා කියන වචනවලින් ආදරණීය සිතිවිලි හිතට පහළවේවිද… නැහැ. කොහෙත්ම නැහැ. ඇය ඔහු අතැර ගිහින්. ඔහු විතරක් නෙවෙයි ආදරණීය පුංචි පුතුවත් තනිකරලයි ඇය වෙනකෙකු සමගින් ගොස් ඇත්තේ….
“මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ…”
සැමියා… තම දරුවා නළවනවා. බිරිඳ තවකෙකුගේ පහස ලබනවා. දරුවා නළවද්දී පියා තුළ කිසිදු වෛරයක් ද්වේෂයක් උපදින්නේ නැහැ. මවගේ කුසින් බිහිවූ දරුවා නැළවෙන්නේ පියාගේ ඇකයේ. දරුවා පියාගේ ඇකයේ නැළවෙද්දී මව… වෙන කෙනකුගේ ඇකයේ සිට ආදර බස් දොඩනවා. අලුත් පෙම්වතාගේ ඇකය ඇයට මල් ඇතිරූ සුවයහනක්… ඈ ඒ යහනේ අනුරාගී දෙනෙතින්… පෙම්වතා සමග පෙම් කරද්දී… පියා ඇකයේ සිටින පුංචි පුතා මව් සෙනෙහස ඉල්ලා හඬා වැටෙනවා. ඒත් සුරතල් දරුවාගේ දුක්‌බර හැඬුම් මවට ඇසේවිද… නෑ. ඇය අසම්මත පෙමකින් අන්ධවෙලා. දරුවා ඇකයේ තබාගෙන මේ ආදරණීය පියා ගයන්නේ නැළවිලි ගී නොවේ. හදවතේ විලාපයයි ඔහු ගයන්නේ.
“ඇකයේ සිට මා
පුතු හඬනා සඳ
ලේ කිරි වීදැයි නොදනිමි මා ළඳ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඳ”
ඔහුගේ ඇකයේ සිටින පුංචි පුතා කිරට හඬනවා. ඒත් පියෙකුගේ ලේ කිරි බවට හැරෙනවද… නැහැ. පුංචි පුතා කොතරම් හැඬුවත් පියාට ලේ කිරි කර පොවන්න වාසනාවක් නෑ. ඔහු අසරණයි. ඒ අසරණ වූ ඇස් දෙකෙන් පුංචි පුතා දෙස ඔහු බලා සිටිනවා. කිරිකැටියාගේ පුංචි සිරුර කඳුළුවලින් පිරිලා. තාත්තාගේ කඳුළුවලින් පුංචි පුතා නෑවිලා. මවකට කිරි එරුණත් පියෙකුගෙන් වැගිරෙන්නේ කඳුළු විතරයි. ඒ කඳුළු මවගේ කිරිවලට සම කරන්න පුළුවන්ද…
source : geeyakawathagotha.fandom.com and divaina.com