වසන්තයේ අග

Lyrics

වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..

වසන්තයේ අග …

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

Wasanthe vasanthaye aga hamuwemu – Edward Jayakody jayakodi

More from RogueOne

1 Comment

  1. ජීවිතයක වසන්ත සමය කුමක් ද? එය කෙළිලොල් තාරුණ්‍යය ඉතිරී පැතිරී යන කාලය ද? වසන්ත කාලය යයි ඇසූ සැණින් අපට සිහිවන්නේ කුමක් ද? අපට හැඟෙන්නේ අපේ සිතට නැගෙන්නේ කෙබඳු හැඟීම් ද? වසන්තය යනු සුන්දරම සමය නොවන්නේ ද? ගහ කොළ දලු ලන මලින් පලින් බර වූ සිතට ප්‍රබෝධය රැගෙන එන්නා වූ කාල පරිච්ඡේදයක්ම නොවන්නේ ද? වසන්ත සිරියෙන් අලංකාර වූ වනාන්තරයක ඇවිදිමින් යන කල්හි වුව ගමන් විඩාව ඉබේම මග හැරෙන බවයි, මනමේ නාටකයෙහි මනමේ කුමරා පවසන්නේ. “වසන්ත ශ්‍රීයෙන් අලංකාර වූ මගුල් මඩුවකට බඳු වූ වනාන්තරයේ ශෝභාව නරඹමින් යන කල ගමන් විඩාව ඉබේම මඟ හැරේ සොඳුරිය.

    වන රැජින ද උත්සව විලාසයෙන් නෙක් විසිතුරු පාන්නී අප දෙදෙනාගේ විවාහය නිසා සතුටු වන්නා සේය.” (මනමේ නාටකය – සරච්චන්ද්‍ර) වසන්ත සමයේ චමත්කාරය පිළිබඳ අප තව තවත් නිදසුන් සෙවිය යුතු ද? වසන්තය කෙතරම් සොඳුරු වූවත්, වසන්තයේ කෙළවර සොඳුරු විය හැකි ද? ආනන්දජනක විය හැකි ද? මිනිස් ජීවිතයක වසන්ත සමය, තාරුණ්‍යය පිරි යෞවන සමය වේ නම්, එතුළ ආදරය, ප්‍රේමය තිබිය යුතුම නොවේ ද? ජීවිතය ජීවත් කරවන්නේ ආදරය හෝ ප්‍රේමයම නොවේද? වසන්තයේ කෙළවර හෝ තාරුණ්‍යයේ අග සමය එවන් ආදරයකින් හෝ ප්‍රේමයකින් වියුක්ත වූ මොහොතක දැනුණු වේදනාව අත් විඳි මගේ සමීපතම මිතුරෙක් මට සිහිවේ. ඔහුගේ ජීවිතයේ වසන්ත සමය නිමා වූ ශෝක ජනක විලාසය මට සිහිපත් වේ. ඊට ආසන්න හේතුව වූයේ මා ඉතා ප්‍රිය කරන ගායන පෞරුෂයක් සතු එඩ්වඩ් ජයකොඩි ගේ, ගීත අතර මා ඉතා සිත්ගත් හා, මගේ සිතෙහි කොනක රැඳී බොහෝ අවස්ථාවල සිත රිදවන මේ ගීතය අහම්බෙන් මෙන් අසන්නට ලැබුණු බැවින් ද?

    වසන්තයේ අග හමුවෙමු සොඳුරිය යයි එඩ්වඩ් පවසතත්, එසේ ඉල්ලා සිටින්නේ කපිල කුමාර කාලිංග නම් වූ අපූරු ගී පද රචකයා යි. අපේ මිතුරායි. කපිල ගේ ඉල්ලීම වන්නේ, අලුතින් සුසුමක් ගෙන ළා සඳ නැගෙනා හෝරාවේ දී වෙන් වී යමු යනුවෙනි. මේ ගීතමය අත්දැකීම හා මගේ මිතුරා ගේ ජීවිතයේ වසත් සමය කෙළවර ඔහු අත් විඳි ශෝකය අතර කිනම් සම්බන්ධයක් වේද? මට වඩා වයසින් අවුරුදු දෙක තුනකට වඩා වැඩි ඔහු මට හමුවන්නේ මගේ ජීවිතයේ ද වසත් සමයේ දී යයි මට දැන් මතකය. රටේ ප්‍රමුඛ පාසල් දෙකකින් එක් පාසලක ඉගෙනුම ලබා තිබූ ඔහු මට හමුවන්නේ මගේ මුල්ම රැකියා ස්ථානය වූ රාජ්‍ය සංස්ථාවක දී ය.

    අප දෙදෙනා ඉතා ඉක්මනින් මිතුරන් වූයේ, ඔහුත් මා මෙන්ම විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ද සහිතව, අප සංස්ථාවේ ලිපිකාර තනතුරකට පැමිණි දෙවන උපාධිධාරියා වීම නිසා ද නැතහොත්, නාට්‍ය, චිත්‍රපට, සාහිත්‍ය කලා පිළිබඳ ඔහු තුළ වූ වින්දනය, රසය මට සමීප වූ නිසා දැයි නිශ්චිතව කිව නොහැකිය. ඔහු උපාධිධාරී ලිපිකරුවකු වුවත් මගේ වාර්තාව බිඳින්නට ඔහු අසමත් ය. මන්ද යත්, මා ප්‍රථම උපාධිධාරී අනියම් ලිපිකරුවා වූ බැවිනි. ඔහුත් මාත් අතර වූ තවත් එක් සම්බන්ධයක් සිහිපත් වේ. 1969 තරම් කාලයේ මා සම්බන්ධව සිටි සරච්චන්ද්‍රගේ මනමේ නාට්‍යයේ ගායිකා කණ්ඩායමට අයත් වූ ගායිකාවක් ඔහුගේ කොළඹ සරසවි සමයේ මිතුරියක් වීමත් පසුව මා ඒ නාට්‍යයට සම්බන්ධ වූ පසු ඈ මගේ සමීපතම මිතුරියක් බවට පත් වූ නිසාත්ය.

    මගේ මිතුරා කෙළි ලොල්, ආදරය ප්‍රේමය නො අඩුව විඳ තිබූ, ගෙදර දොර පසුබිම ඉතා ශක්තිමත් වූ කඩවසම්, සිත් ගන්නා සුලු පුද්ගලයෙකු විය. සුදු පැහැති කලිසමට, සුදු අත්කොට කමිස හැර අත්දිග හෝ වර්ණ කමිසයක් ඔහු හැඳ සිටිනු මා කිසි දින දැක නැත. විනෝද චාරිකාවක දී නම් ඔහු ටී කමිසයකින් සැරසුණු බව මතක ය. සරසවි සමයේ ද, හොඳ පෙම්වතෙකු වූ ඔහු මගේ ඇසුරට පත්වන කල්හි නිත්‍ය පෙම්වතියක් නොවූ, ජීවිතයේ රස විඳින්නට පුරුදු වූ නිදහස් අදහස් තිබූ තරුණයෙකු විය. චිත්‍රපට බැලීම, නාට්‍ය නැරඹීම, අලුත් පොත පත කියවා ඒ පිළිබඳ කතා බහ කිරීම, රාත්‍රිය මහලුවන තෙක්, මධු විතක රස බැලීම ආදී වූ කාරණා අප අතර බැඳීම් තර කළ බව මතක ය.

    ආදරය, ප්‍රේමය, පෙම්වතියන් පිළිබඳ අපූරු හා වෙනස් මත වූ ඔහු, තම ජීවිතයේ වසන්ත කාලයේ කෙළවර අසම්මත පෙමක බැඳිණ. දරුවන් සිටි වයසින් ඔහු ට වඩා අඩු එහෙත් යෞවනත්වයෙන් හා සිත් ඇද ගන්නා රූප සෝබාවකින් යුතුවූ ඔහුගේ පෙම්වතිය, ඔහුට දැඩි ලෙස ප්‍රේම කළා ය. ඔහු ද පෙරළා ඇයට අදහා ගත නොහැකි ලෙස ආදරය කළේ ය. ඔවුන් දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධතාවෙහි සම්මත හෝ අසම්මත බව වැදගත් නොවුණු මට සැබැවින්ම සිදු වූයේ ඔවුන් දෙදෙනාගේම දුක් ගන්නා රාල බවට පත්වීමට යි.

    එහෙත් වසන්තයේ අග සිදු වූයේ කුමක් ද? ජීවිතය යනු අපේක්‍ෂිත දේවලින් නොව, බොහෝ විට අනපේක්‍ෂිත සිදුවීම්වලින් යුත් එකක්ම බව සනාථ කරමින්, ඔහුට ජීවිතයෙන්, ඔහුගේ අසම්මත ප්‍රේමයෙන් සොඳුරියගෙන් වෙන්වන්නට සිදුවීමයි. වසන්ත සමයේ කෙළවර, මා මිත්‍රයාගේ වයස අවුරුදු තිහක් සපිරෙන්නට පෙර පිළිකා රෝගයෙන් වසර කිහිපයක් දුක් විඳ මිය ගියේ මගේ ජීවිතයේ ද වසන්ත සමයේ හමු වූ හොඳම මිතුරා මගෙන් ද ඈත්කරමිනි. එඩ්වඩ් ගායනා කරන ගීතයේ අත්දැකීම මට අදත් සමීපව දැනෙන්නේ මගේ මිත්‍රයාගේ ආදර සම්බන්ධතාව හා බැඳුණු මිහිරි මතක මා සතුව ඇති බැවිනි.

    එඩ්වඩ් ගේ ගීතයේ හෝ කපිලගේ ගී සංකල්පනාවේ මගේ මිතුරා අත්විඳි ආකාරයේ අසම්මත, පෙම් බැඳුමක් පිළිබඳ ඍජුව නොකියවුණත්, මේ පෙම්වතුන්ගේ වෙන්වීම හෝ සමු ගැනීම ද මගේ මිතුරා ගේ ආදර කතාවේ නිමාව මෙන්ම ජීවිතයේ නිමාව ද මට සිහිපත් කරවන බවයි හැඟෙන්නේ. ඔවුන් දෙදෙනා වෙන්වී යන්නේ පෙර නොකී කතා අසාය. ඔවුන් ගේ ජීවිතයේ ගෙවී ගිය කාලය වසන්ත සමයක සුන්දරත්වයෙන් හෝ චමත්කාරයෙන් පිරුණක් නොවිය යුතුය. ගිමන් නිවන්නට ඔවුන්ට යළි ඉඩක් සැලසෙන්නේ නැත. එනිසා පියවර මැන මේ යොදුන් ගණන් දුර ජීවිතය ගෙවා ගනිමු යයි ඔහු පවසතත්, එසේ දුර යන්නට මගේ මිතුරාට හෝ ඔහුගේ පෙම්වතියට නොහැකි විය.

    ඔවුන් ගේ ජීවිතවලට වැටී ඇති දොරගුළු හැර දමා සසරේ පතා ආ ලෙසින් හිනැහෙමු යයි පෙම්වතා ඉල්ලා සිටී. එලෙසින්ම, කාත්කවුරුවත් නොමැති, හුදෙකලා වූ මේ නිහඬ හෝරාවේ දී අප දෙදෙනා අපගේ ම ලෝකයේ තනිවෙමු යයි ඉල්ලා සිටිය දී ළා සඳ නැගෙනා මේ හෝරාව තුළ ඔවුනගේ වෙන්වීම සිදු විය යුතුවේ. එය වළකාලිය හැක්කේ කාටද? එඩ්වඩ් වසන්තයේ අගදී සොඳුරිය හමුවන්නේ ඇගෙන් වෙන්වීමට යි. මගේ කාර්යාල මිතුරා ගේ ජීවිතයේ වසන්තයේ අග දී ඔහුට ඔහුගේ ප්‍රේමය, ආදරය හමුවන්නේ, ඇගෙන් පමණක් නොව ජීවිතයෙන් ද සමු ගැනීමට යි. ඔවුනගේ දෛවය එයයි. කපිල ගේ පෙම් යුවළගේ ආදරය වුව, ඔවුන්ට රිසි ලෙස නිදහස්ව විඳීන්නට හැකි වූ ආදරයක් නොවූ බව අපට දැනේ.

    “දොරගුළු හැරලමු අපි දෙහදේ
    හිනැහෙමු පෙර ලෙස පැතූ ලෙසේ
    කිසිවෙකු නොදකින නිහඬ පැයේ
    තනිවෙමු මොහොතක් අපේ ලොවේ…”

    දෙහදට දොරගුළු දමා ඇත්තේ කවුරුන් ද? ගෙදර දොර, දෙමාපිය වැඩිහිටියන් සමාජ සම්මත කුල සිරිත් ද ඒවා බිඳ දමා මේ තනි වූ හෝරාවේ අප දෙදෙනා එක්වෙමු යයි ඔහු ඇගෙන් ඉල්ලා සිටී. වසන්ත සමයක අග හමු වන පෙම්වතුන් යුවළක ගේ ඇතුළු හද ගැබට පිවිස ඔවුන් ගේ සිතුවිලි සමුදායෙන් බිඳක් කපිල තම ගේය පද සංකල්පනාව ට එක් කර ගනී. එඩ්වඩ්ට තම සංගීත නිර්මාණයෙන් මෙන්ම ඔහුට ඉතා අපූරුවට මේ ගීයෙහි අත්දැකීම අර්ථගන්වන්නට, සුදුසු වූ හඬක් ඔහුගේ ද යෞවනයේ වූ ලෙසක් අපට දැනේ. වසන්තයේ අග දී තමන්ට අහිමි එහෙත් ආදරය පිරුණා වූ, පෙම්වතිය හමුවූව ද ඒ ප්‍රේම වෘතාන්තය ශෝකයකින් නිමා කළ මගේ මිතුරා ගේ ජීවන අත්දැකීම ද මේ ගීතය හා අත්‍යන්තයෙන්ම බැඳී ඇතැයි, මේ ගීය අසන සෑම මොහොතකම මට දැනේ.

    බුද්ධදාස ගලප්පත්ති
    [email protected]
    Copied from – dinamina.lk – Baddaramalla

Enable Notifications OK No thanks