Saiber Salabayo

සයිබර් සලබයෝ

Lyrics

ආලයේ දැලේ
ජාලයේ කැලේ
කාලයේ කදුළු
ලපැටියන්ට පොවනා
සයිබර් සලබයෝ
සයිබර් සලබයෝ

ස්පර්ෂ තිර පුරා
රාගයේ මුහුණු පළදා
ඩිජිටල් සළෙලුන්
ඩිජිටල් සළෙලුන්
පික්සල් වනේ පිපෙනා
සින්තටික් මල් සිඹිනා
සයිබර් සලබයෝ
සයිබර් සලබයෝ

අවකාශයේ
අනියම් යහනේ
ට්‍රෝජන් කාචයෝ
අනුරාගයේ වෛරසය වැළඳී
ආදරේ අසාධ්‍ය වූ අඩවියේ
සයිබර් සලබයෝ
සයිබර් සලබයෝ

ආලයේ දැලේ …

Saibar cyber salabayo – Amarasiri Peiris peris piris අමරසිරි පීරිස්

More from RogueOne

1 Comment

  1. — බුද්ධික ප්‍රදීප් අතුකෝරල —

    සංහිඳේ දෙයියන්ගෙ පාමුල,
    කිරිපල්ලෙන් පසු ආචාර්ය සුජීව හෙට්ටිතන්ත්‍රීන් රචනා කල නවතම ගීතය “සයිබර් සලබයෝ” ගැන මා දකින විදිහ.
    කියවා බලා අදහසක් සටහන් කරගෙන යන්න…

    සයිබර් සලබයෝ ගීතය මෑත කාලයේ අසන්නට ලැබුණු කිසියම් ආකාරයක වෙනස් ස්වරූපයක් ගත් නිර්මාණයක්ය. අද අපට අසන්නට ලැබෙන ගීත වල විශේෂ ලක්ෂණය වන්නේ ඒ සෑම ගීතයක්ම පාහේ කිසියම් ඒකාකාරි වචන සමුදායකට සහ නාද රටාවකට උරුම කම් කීමයි. බොහෝ නව නිර්මාණ වල මට නිර්ක්ෂණය වූ තවත් කරුණක් වන්නේ ඇතැම් ගීත මත පැරණි සාර්ථක නිර්මාණ වල සෙවනැලි පතිත වී තිබිමයි. නැතහොත් ඒවා ඇසෙන එක විටම පෙර ගීතයක් සිහිපත් වීමයි. ඇතැම් විට රචකයාගේ දුර්වල පරිකල්පනයත් හදිස්සියත් සංගිතඥයා නිර්මාණයක් සදහා සැලකිය යුතු පරිනත වීමේ කාල පරාසයක් නොගැනිමත් මෙයට බලපෑ එක් වැදගත් සාධකයක්ය. තවත් මෙයට බලපාන හේතුන් විශාල ප්‍රමාණයක් කවරෙකුට වුව හදුනා ගත හැකිය. මේ ඒකාකාරීව ගලාගිය ආකෘතියෙන් වෙනස් වූ නිර්මාණයක් ලෙස සයිබර් සලබයෝ ගීතය හඳුනාගත හැකිය. අමරපිරි පීරිස් නම් ගාන්ධර්වයාගේ භාවමය හඬින් අප අතරට එන මෙම ගීතයේ රචකයා වන්නේ සුජිව හෙට්ටිතන්ත්‍රීය. එමෙන්ම පවතින රාමුවෙන් වෙනස් වූ කිසියම් නවමු සංගිත රිද්මයක් මෙයට මුසුකර ඇත්තේ අමිත් ලියනගේ නම් තරුණ සංගීතවේදියා විසින්ය.

    ගීතය ගැන විචාරයකට යොමු වීමට පෙර මේ නිර්මාණය ස්තාන ගතකොට ඇති සමාජ ව්‍යුහය ගැන යම් අවබෝධයක් මූලිකව ලබාගැනිම වැදගත්ය. නිදහස් වෙළද ප්‍රවේශයක් අපේ අර්ත ක්‍රමයට ආරෝපණය කිරිමත් සමග කේන්ද්‍රයේ සිට අපේ රටට නොයෙක් දේ සීමාවකින් තොරව ගලා ආවේය. නිවැරදි ප්‍රතිපත්ති සම්ප්‍රධායක් සහ නියාමන ක්‍රමවේදයක් නොපැවතීම නිසා නිදහස් වෙළදපොල ක්‍රමයේ වාසි සහගත තත්වයන්ට වඩා අපට අත්වූයේ එහි අනිටු ප්‍රතිපල වලට සමාජයක් ලෙස මුහුණ දිමටය. පැවති අවිධිමත් කෘෂිකාර්මික ක්‍රමය තව දුරටත් ආන්තික කිරිම මෙන්ම උග්‍ර බටහිර සංකල්ප අමු අමුවේ වැළඳ ගැනිම නිසා පැවති විකෘති සමාජය තව දුරටත් විකෘති වූවා මිස වෙන යමක් වූයේ නැත. කෘෂිකාර්මික ජීවන ක්‍රමයත් සමග කාලාන්තරයක් පරිණාමය වෙමින් සමාජය මත පැවති පරිකල්පනය මිනිසා තුළින් ක්‍රමයෙන් වියැකී යන්නට පටන්ගත් අතර රට තුළින් ස්වදේශීය අපට ආවේණික සංවර්ධනයක් මතුකර ගැනිමට පැවති ඉඩ ප්‍රස්තාව සමාජීය පරිකල්පනය මොට වීමත් සමග අහිමි විය. දේශීය සංවර්ධන ප්‍රවේශයක් මතුකර ගැනිම නිර්මාණාත්මක පරිකල්පනයක් නොමැති කිසිම සමාජයකට කල නොහැකිය. එහි අනිටු ප්‍රතිඵලය වන්නේ භාහිර සමාජ ගතිකයන්ට ඉවක් බවක් නොමැතිව පුද්ගලයා ආකර්ෂණය වීමයි. තොරතුරු තාක්ෂණය නැත්නම් අවකාශීය දැනුම අපේ රටට ගලා එන්නේ මෙවැනි සංක්‍රාන්ති සමාජ ව්‍යුහයක් ලෙස ලාංකිය සමාජය ස්ථාන ගත වූ තත්වයක් තුළය.

    ප්‍රාථමික සමාජානුයෝජනයේ මූලික සමාජ සංස්ථාව වූ විස්කෘත පවුල් ඒකකයේ පිරිහීම යටත්විජිතකරණයත් සමග ඇරඹුණු අතර විවෘත ආර්ථිකය විසින් එය න්‍යශ්ටික පවුල් ඒකකයක් දක්වා ව්‍යුහගත කරන ලදි. ආගමික සංස්ථාව දේශපාලනීකරණය වීමත් සමග නැතහොත් ශුද්ධ බෞද්ධ දර්ශනයේ හර පද්ධතීන්ගෙන් එය ව්‍යුත්ත වීමත් සමග ග්‍රාමීය පන්සල කේන්ද්‍ර කරගෙන පැවති සමාජානුයෝජනයද අහෝසි වී ගියේය. වික්ටෝරියානු සංස්කෘතියේ ස්වභාවිකරණය යටතේ මිෂනාරී අධ්‍යාපනික ආයතන පැවති දේශීය දැනුම් පද්ධතිය දේශපාලනිකව යටපත්කරනු ලැබු අතර ඒ වෙනුවට ආකෘතිගත අධ්‍යාපනයක් මගින් පවතින ධනවාදි ක්‍රමය ආරක්ෂා කරනු ලබන මානව සම්පත ප්‍රතිනිශ්පාදනයේ අයතන නැතහොත් පාසල් අපට හදුන්වා දුන්නේය. දේශීය යාතුකර්ම, දේශීය වෙදකම, දේශිය සටන් ක්‍රම, සංස්කෘතික උස්සව කේන්ද්‍රිය කලා අංග, ජලය මුල්කරගත් දැනුම් සමුදාය ආදි ස්වදේශීය දැනුම් පද්ධති ක්‍රමයෙන් පිරිහෙමින් ජන සමාජයෙන් ඇත් වී යන්නට පටන් ගත්තේය. ඒවා දැනට නූතනයේ පවතිනවා නම් ඒ හුදෙක් ධනවාදි මාධ්‍ය කේන්ද්‍රිය සංස්කෘතික ප්‍රාග්ධනය ප්‍රතිනිශ්පාදනයේ මෙවලම් පමණක්ය.නිදහස් වෙළඳ පොලත් සමග රූපවාහිනය අපේ කුටුම්භය ආක්‍රමණය කරනු ලැබු අතර පවුල් ඒකකයක් ලෙස සාමාජිකයන් අතර අන්නෝන්‍යව පැවති ආත්මීය බැඳීම ක්‍රමයෙන් පිරිහිමට පටන් ගන්නේ මේ තාක්ෂණික ආක්‍රමණයත් සමගය. මැජික් එකක් ලෙස රූපවාහිනීය වටා ආච්චි සීයා මෙන්ම මව පියා දරුවන්ද ආකර්ෂණය වීමෙන් දරුවාගේ මූලික සමාජානුයෝජනයට පවුල් ඒකකයට පැවති අයිතිය “සංස්කෘතික ඒජන්ත”වරයෙකු ලෙස රූපවාහිනය භාරගත්තේය. සින්තටික් නැත්නම් සරුවපිත්තල මනෝභාවයන්ගේ මූළික කළලයන් අපේ සමාජය මත පතිත කරන්නේ මෙරට ප්‍රාග්ධනය පිට රට පටවා අප ආනයනය කල මේ රූප පෙට්ටිය විසින්ය. කාර්මික විප්ලවයෙන් පසු තොරතුරු තාක්ෂයේ සිඝ්‍ර ප්‍රසාරණයත් සමග ගෝලීය වශයෙන් විවිද මෙවලම් නිශ්පාදනය වූ අතර සීඝ්‍රගාමී ලෙස ඒ අතරින් දුරකථන තාක්ෂණය දියුණු වෙන්නට පටන් ගත්තේය. එතෙක් අධි සුකෝපභෝගී භාණ්ඩයක් වූ ප්‍රභුන්ට පමනක් සීමා වූ දුරකතනය,තාක්ෂණයේ දිවුණුවත් සමග අපේ සමාජයේද සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් දක්වා වෙනස් වූයේය. පරිගකයද මේ කාල අවකාශය වන විට අපේ සමාජයට අවතීර්ණ වූ අතර මෙතෙක් කල් රූපවාහිනිය යටතේ පැවති තනි ඒකාධිකාරියෙන් කොටසක් ක්‍රමයෙන් ජංගම දුරතකය සහ පරිගනයකය වෙත විතැන් විය. වර්තමානය වන විට රටේ ජනගහනයට සමාන්තරව ජංගම දුරකතන පරිශීලනයේ වේගය සිඝ්‍රයන් වැඩි වී ඇති අතර සෑම පුද්ගයෙකුගේම එය ජිවිතයේ කොටසක් වී ඇත. පුද්ගල පරිගනක, ටජ් පෑඩ්, ලැප් ටොප්, ආදි විවිධ ආකෘති යටතේ පුද්ගල මනස පැහැරගන්නා සන්නිවේදන උපකරණ අද දවසේ ලාංකිය සමාජයේ සිට ගෝලිය අවකාශයට පුද්ගලයා සම්බන්ධ කිරිමේ ඒජන්තවරුන් ලෙස ක්‍රියාත්මක වෙමින් පවති. පුද්ගලයන් අත රැදි ජංගම දුරකතනය මින් ප්‍රධානම මෙවලම වන අතර සමාජ ජාල වෙබ් අඩවි, බොලොග් අඩවි, විද්දුත් මේල් පදධති සහ සන්නිවේදන ඇප්ලිකේෂන් යටතේ ලංකාවේ ගැහැණුන් මිනිසුන් නව අනන්‍යතා පසුපස හඹා යමින් පවති.

    අනෙක් අතට තවමත් ලිංගිකත්වය සංස්කෘතික වශයෙන් වැසුනු ව්‍යුහයක්ය අපේ සමාජයේ පවතින්නෙ ඒ සඳහා හරි අධ්‍යාපනයක් පුද්ගලයාට ලබාදීමට වෙනත් සංස්කෘතික සාධකයන් ඉඩ නොදේ. ඒ නිසා ලිංගික කුතුහලය මෙන්ම ලිංගික පීඩනයක් යටපත් කරගෙන සිටින සමාජයක් අප සතුය.

    ලිංගිකත්වය වැනි මානව අවශ්‍යතා සංස්කෘතික වශයෙන් යටපත් කල නොහැකි අතර ඉඩ ලද සෑම විටම එය රබර් බෝලයක් මෙන් මතු පිටට පැමිනේ. අධ්‍යතන ලාංකිය සමාජයේ සමාජ වෙබ් අඩවි හරහා ස්පර්ශ තිර තුළින් යටපත් කරනු ලැබු ලිංගික ආතතීන් මතු පිටට පැමිනෙමින් තිබේ. එය සමාජයක් ලෙස අප අත්විඳින ඛේදවාචකයක් වන අතර පවුල් ඒකකයට ඉන් වන බලපෑම සුලුපටු නොවේ. ලංකාවේ යුද වාතාවරණයක් යටතේ බිඳුණු පවුල් ඒකක නිර්මාණය වූ අතර මැදපෙරදිගට මව හෝ පියා රැකියා සඳහා පිටත්ව යාමෙන්ද එවැනි තත්වයක් ඇති විය.නුතනයේ මේ තත්වය තොරතුරු තාක්ෂණයේ මහිමයෙන් අවකාශීය වශයෙන් අපේ සමාජයේ සිදුවෙමින් පවති. සත්‍ය වශයෙන්ම සයිබර් සලබයෝ නම් මේ නිර්මාණය සුජීව පතිත කරන්නේ මෙවැනි සමාජිය සංස්කෘතික ආර්ථික සහ දේශපාලනික ව්‍යුහයක් සහිත ලාංකිය සමාජ අවකාශය තුළය.වචන ප්‍රමාණයෙන් අඩු රචනාවක් වන මෙය ඇරඹෙන්නේ කිසියම් අපූර්වත්වයක් සහිතවය.

    ආලයේ දැලේ
    ජාලයේ කැලේ
    කාලයේ කදුළු
    ලපැටියන්ට පොවනා
    සයිබර් සලබයෝ

    ආලය නැතහොත් ආශාව කියන දැලෙහි නූතන මිනිසා පැටලි සිටි. ඔවුන් අයිතිකරගැනිම අරමුණු කරගෙන භෞතික වස්තුන් පිටුපස හඹා යයි. එහෙත් තමා ආශාව නැමැති දැලේ පැටලී සිටින බව නොදනී. සුජීව මෙතනදි උපයුක්ත කරගෙන ඇත්තේ ශුද්ධ බෞද්ධ ධර්ශනයේ හරයයි. නැතහොත් සැනසීිම ඇත්තේ අත්හැරීම කියන ප්‍රායෝගිකත්වය තුළ බවයි. ඔහු ජාලයේ කැලේ කියා මෙහිදි අවතීර්ණ වන්නේ ආශාවෙන් පෙලෙන මිනිසා නූතනත්වයදී අන්තර්ජාලය තුළ තම ආශාවන් මුදුන් පමුනුවා ගැනිමට උත්සාහ කරන බව පවසමින්ය. අන්තර්ජාලයද දැලක්ය. එමෙන්ම රචකයාට අනුව එය කැලයක්ය. දැන් මේ කැලය තුළ විවිද ක්‍රියාකාරකම් සිදුවෙමින් පවති. එය බැලු බැල්මට සුන්දරය. ආදුනිකයෙකුට දුටු විට ඇතුළු විමට ආකර්ෂණිය වේ. යා හැකි සිමාවක් නැත. පාලනය කරන්නට ‍කෙනෙක් නැත. මග පෙන්නන්න කෙනෙක් නැත. අතර මං විය හැකිය. මේ ආදි විවිද ලක්ෂණ වලින් මෙය හෙබිය. රචකයා එකවර සමාජ ඛේදවාචකය වෙත අසන්නා කැඳවාගෙන යනු ලබයි. ඔහු මනරම් යෙදුමක් එක මිටට කැටි කරයි. එය නම් කාලයේ කදුළු යන්නයි. ඔහු එයින් අදහස් කරන්නේ කුමක්ද? රචකයාට අනුව අන්තර්ජාලය නම් වනාන්තරයේ සයිබර් සලබයෝ නම් සත්ව කොට්ඨාශයක් ක්‍රියාකාරකම් වල නිරත වෙමින් සිටි. සලබයා යනු කෙටි ජිවිත කාලයක් ඇති නිතර වෙනස් වන සත්වයෙක්ය. සමනලයා මෙන්ම සලබයාද තම පැටවුන් කෙසේ ජිවිතය ලබනවාද යන්න නොදනි. මොවුන් අතර දැඩි දාරක බැදිමක් නැත. ඇත්තෙන්ම ඔවුන්ට තම දරුවන් ගැන, දරුවන් ඉන්නවාද යන්න ගැන වගකිමක් නැත. රචකයා සලබයා යන්න පාවිච්චි කර ඇත්තේ මේ අර්තයෙන්ය. සලබයා යන්න ඉදිරියෙන් සයිබර් නැමැති විශේෂණ පදය යෙදිමෙන් මානව සමාජය සංකේවත් කිරිමට රචකයා ගත් උත්සාහය පැසසිය යුතුය. සමාජ ජාල වලට ඇබ්බැහි වූවන් සයිබර් සලබයන්ය. ඔවුන් මව් ස්නේහයෙන් පිරි හදවතක් ඇති මවක හෝ දරුවන් කෙරෙහි පීතෘ සෙනෙහස වගුරන පියෙකු ලෙස තම දරුවන් කවා පොවා සනසවන්නේ නැත. ඔවුන් ජංගම තිර උඩ වසා මත් වී සිටින අතරතුර දරුවන් තමන්ගේ මුළු ළමා කාලයම කදුළු බොමින් ගෙවා දමයි. රචකයා කාලයේ කදුළු කියා අපට කියන්නේ මේ ඛේදාන්තය නොවේද? භෞතිකව පවුල් ඒකයක් ලෙස එකට මව පියා දරුවන් ජීවත් වූවද ආත්මීය වශයෙන් ඔවුන් නූතන තාක්ෂණය විසින් බෙදා වෙන්කරන අයුරු රචකයා මේ වචන දහයෙන් අපට ඉදිරිපත් කර ඇත.

    මේ රචනාවේ සුවිශේෂි ආකෘතිය ගැන ඔබට කියන්නට මා කැමතිය. පැරණි සුභාවිත ගීතය තුළ දකින කොටස් අතර පවතින ඒකාබද්ධ බව මෙය තුළ දක්නට නොලැබේ. රචකයා ඉදිරිපත් කරන්නේ හුදකලා සිද්දි කිහිපයක්ය. ඒවා රචනය පුරා විසිරි පවති. එහෙත් එකවර අවසානයේදි ඒකීය ලක්ෂයට අසන්නා යොමුකරයි. එය මෙරට
    ගීතයට නවමු මානයක් බව මගේ අදහසයි. එය අපට තරමක් ආධුනික වුවද දැනටමත් බටහිර සාහිත්‍ය නිර්මාණ තුළ දක්නට ලැබෙන ආකෘතික ලක්ෂණයක් සිංහල සුභාවිත ගීතය තුළ අත්හදා බැලිමට ගත් උත්සාහයක්ය. අනිත් අතට පහසුවෙන් නිර්මාණ කරුවෙකු අත නොගසන සයිබර්, පිස්සල්, සින්තටික්, ඩිජිටල්, වෛරසය වැනි වචන තම නිර්මාණයට යොදා ගැනිමට මේ රචකයා ඉදිරිපත් වී ඇත්තේය. භාෂාව මෙන්ම ගීතයද සමාජ වෙනස් කම් වලට අනුව අනුවර්තනය වී පරිනාමය විය යුතුය. එසේ නොවුවහොත් එය වඳ වී යා හැකිය. මේ භාෂාත්මක භාවිතයන් අපට හඬගා කියන්නේ ඒ සත්‍ය බව මගේ හැඟීමයි. මෙවැනි නිර්මාණ වින්දනය කල පෙර පුහුණු කල ශීක්ෂණයක් සහිත මනසකට නිසගයෙන්ම මේ ආකෘතිමය වෙනස් කම් එකවර ගහනය වීම නොඅනු මානය.

    ස්පර්ෂ තිර පුරා
    රාගයේ මුහුණු පළදා
    ඩිජිටල් සළෙලුන්
    පික්සල් වනේ පිපෙනා
    සින්තටික් මල් සිඹිනා.

    පළමු කොටසින් හාත්පසින්ම වෙනස් සිද්ධි දාමයක් ලෙස රචකයා දෙවන කොටස අප හමුවට ගෙන එනු ලබයි. සලබයන් වන් ගැහැණුන් මිනිසුන් හමුවන්නේ ශරීර වශයෙන් නොවේ. නවින තාක්ෂණයට පිහිට වෙන්නට අද ලිංගිකත්වය වර්චුවල් වැඩක්ය. වර්චුවල් ලිංගිකත්වයට ඇබ්බැහි වූවන් ශරිර වශයෙන් කරනු ලබන සංසංර්ගයෙන් නොලබන ආස්වාදයක් වර්චුවල් සංසර්ගයෙන් ලබා ගන්නා බව නූතන පර්යේෂණ පෙන්වා දේ. මේ සඳහා මොවුන් ඇතුළු වන්නේ ස්පර්ෂ තිර තුළින්ය. මව පියා යන භූමිකා රංගනයෙන් ඉවත් වී ඔවුන් දැන් නවමු රාගික මුහුණු පැළඳ සයිබර් වනාන්තරයට ඇතුළු වේ. ඔවුන් රචකයා හදුන්වන්නේ ඩිජිටල් සලෙලුන් ලෙසය. වින්දන ශීක්ෂණයක් ඇති කවරෙකුට වුවද රචකයා මවන මේ චිත්ත රූප සමුදාය ඉතා රසවත්ව විඳගත හැකිය. එය මට නම් මෙබඳුය.එය වනාන්තරයක්ය. දැන් ඒ වනාන්තරයට රාගයෙන් මත්ව ගැහැණුන් පිරිමින් ස්පර්ශ තිර නැමැති ද්වාර වලින් ඇතුල් වේ. බැලු බැල්මට එකවර මිනිසුන් ආකර්ෂණ කර මුලාකරන නාරිනතා මල් සේ පිපෙන පරවෙන සරුව පිත්තල මල් මේ වනය තුල සුලබය. රචකයා ඒ මල් හඳුන්වන්නේ සින්තටික් මල් කියාය. සින්තටික් යනු වෛයිවර්ණ එහෙත් ගුණාත්මක නොවු පාටය. ආශාව පසුපස හඹායාමට මිනිසාට මේ වස්තුන් බලකරන අතර සිත නිරන්තරයෙන් රාගයෙන් අවුලනු ලබයි. ඒවා අප මුලා කරයි. මෙහි තවත් අර්තාන්විත යෙදුමක් වන්නේ පික්සල් වනේ පිපෙනා යන්නයි. සමාජ ජාලයක අප සැරිසරන විට පුද්ගලයා රවටා ගන්නට මතුවන ස්ත්‍රි මුහුණු වලින් හෙබි අනවරත රූප රාමු හදුන්වා දීමට මේ නම් මනරම් භාවිතයක්ය. අතිතයේද ගැහැණුන් මිනිසුන් අතර අනියම් ඇසුර පැවතියේය.

    පෙම් හසුනෙන්,කවියෙන්, ඇරඹි එය ස්ථානික වශයෙන් සැමියා ජිවන වෘර්තියට පිටත්ව ගිය පසු හොර රහසේ වෙනත් අනියම් පෙම්වතෙකු සමග එක්වීමට කාන්තාව තම නිවස පාවිච්චි කලාය. නැතහොත් ගම අවට වනාන්තරය හේන හෝ නාන තොට මේ ස්තානය විය. එය සිදුවූයේ කිසියම් සීමාවක් තුළය. අධ්‍යාපනයත් සමග කාන්තාව තරමක් දුරට ස්වාධින බලයක් සහිත සත්වයෙකු වූ පසු ඇයද කුටුම්භය පෝෂණය කිරිම සදහා ගමෙන් නගරයට සංක්‍රමණය වීය. නිදහස් ආර්ථිකයත් සමග මෙතෙක් ගෙදර ගෘහණියක් වශයෙන් ගැහැණිය ඉසුලු භූමිකාවෙන් තරමක් වෙනස් ජීවන ක්‍රමයකට ඇය පරිවර්තනය විය. ඒ අනුව ඓතිහාසිකව විකාශණය වූ අනියම් ඇසුර ග්‍රාමීය පරිසරයෙන් හෝටල් කාමරය දක්වා පරිනාමය වන ආකාරය පශ්චාත් යටත්විජිතකරණ යුගයෙන් පසු අපට දැකිය හැකිය. එහෙත් එයද සිදු වූයේ කිසියම් සීමාවක් තුළය. තොරතුරු තාක්ෂණය පැමිණිමත් සමග මේ අනියම් සබඳතා සඳහා නව අනන්‍යතාවක් ලබාදෙන අතර දැනුවත්ව හෝ නොදැනුවත්ව ඕනැම පුද්ගලයෙකු ඒ තත්වයට පත්වන සමාජ ක්‍රමයක් ඒ මගින් ඇතිකරනු ලැබීය. එය දැන් ඉතා සරල වැඩක්ය. දැන් අප අවට ඇති අවකාශය යහනක්ය. ඔබට ඕනැම මොහොතක තෝරාගන්නා සහකරුවෙකු සමග එහි සැතපිය හැකිය. සුජිව මේ දෙවන කොටසින් ඔබට පවසන්නේ තොරතුරු තාක්ෂණය විසින් නිර්වචනය කරනු ලැබු අනියම් ඇසුර නම් සමාජ සංසිද්දියේ නවමු කතන්දරයි.

    මේ නිර්මාණයේ දෙවන කොටස තුළින් සහ සමත්ත නිර්මාණ පරිසරය තුලින්ම මට නිරික්ෂණය වන නූතන ගීත රචනා තුල දුලබ තවත් ලක්ෂණයක් ඔබට පෙන්නා දිය හැකිය. ඒ නම් අපූරු වස්තු නිර්මාණයට මේ රචකයා දක්වන පරිනත බවයි. නැතහොත් සමස්ත රචනාවම කලාත්මක මෙවලමක් ලෙස අප මනස තුලට යොමු කිරිමට ඔහු දක්වන නිර්මාණාත්මක පරිකල්පනයි. වෙනත් අයුරකින් කිවහොත් සැබෑ ලෝකය කවියාගේ ලෝකය තුල ප්‍රතිනිර්මාණය කිරිමයි. මේ නිර්මාණයට අනුව අවකාශිය වනාන්තරය තුළ සැරිසරන සයිබර් සලබයන් මුහුණ දෙන අනේක විද සංසිද්ධීන් කතුවරයාගේ මනෙසේ ප්‍රතිනිර්මිත අපුර්ව පරිකල්පනයන්ය. තවමත් ලංකාවේ ගීත සාහිත්‍ය තුළ වාර්තාමය බසකින් ලියවෙන ඕලාරික රචනාවන් මේ රචනාව විසින් අතික්‍රමණය කල අවස්තාවක් ලෙස මේ අපූර්ව වස්තු නිර්මාණයේ ඔහු දක්වනු ලබන ශික්ෂණය හඳුනාගත හැකිය.

    අවකාශයේ
    අනියම් යහනේ
    ට්‍රෝජන් කාචයෝ
    අනුරාගයේ වෛරසය වැළඳී
    ආදරේ අසාධ්‍ය වූ අඩවියේ

    ගීතයේ තුන් වන කොටසින් රචකයා ඉතාමත් පුළුල් වපසරියක සමස්ත සමාජ ගැටළුව හදුන්වා දෙනු ලබයි. ඔහුට අනුව අවකාශයම අනියම් යහනක්ය. නැතහොත් අතිතයේ ගැහැණුන් මිනිසුන් හොර රහසේ හමුවීමට විවිධ උපක්‍රම භාවිතා කල අතර අද ඒ වෙනුවට අවකාශය ඒ වැඩේ කිරිමට මිනිසුන් භාවිතා කරනු ලබයි. නැතහොත් ඊට අවශ්‍ය මූලික පසුබිම අවකාශය තුළදි තෘප්ත කරනු ලබයි. මේ ගීතයේ ආත්මය වන්නේ අවසාන කොටසයි. එහි එන ට්‍රෝජන් කාචයෝ යන්න නූතන සමාජයේ සෙල්පි ෆොටෝ කලාව නැත්නම් ස්වයං රූප රාමු යන්න මතු කරයි. එහි තවත් අර්තයක් ද්වනිත කරයි. එය නම් අන්තර් ජාලය පුරා විහිදි පවතින ව්‍යාජ බවයි. මේ සෑම කැමරා කාචයක් තුළින්ම එකිනෙකාට අන්තර් ක්‍රියාකරන පුද්ගලයන් තුළ රාගයක් මිස ආදරයක් නැත. ආදරය රාගය නැමැති වෛරසය වැළඳීමෙන් අසාධ්‍ය වී ඇත. ඇත්තටම අන්තර්ජාලය යනු රාගය නැමැති වෛරසය වැළඳී ආදරය අසාධ්‍ය වූ තැනැක්ය. නැතහොත් අඩවියක්ය. රචකයා සමාජ ගැටළු බොහෝමයකට සෘජුව මෙන්ම වක්‍රාකාරව බලපාන මේ සමාජ සංසිද්ධිය කවරෙකුට වුවද බුද්ධියෙන් විමසා බලන ලෙස ආරධනා කරන්නේ මේ අවසාන කොටස තුළින්ය. ඓතිහාසිකව ලාංකිය සමාජය මුහුණ දුන් විවිද භාහිර සමාජ සාධක නිසා පරිකල්පනය යම් තරමකට අප අහිමි කර ගත්තේය. පවුල් ඒකකය තුළ පැවති මනෝමූලික බැඳීම මේ නිසා යම් මට්ටමකින් නැති වී ගියේය. සමාජිය සත්වයා අවකාශීය සත්වයෙක් වීමෙන් ඔහු ව්‍යාජකරණය වී චිත්තවේගි බැඳීම් වලින් වියුක්ත සත්වයෙක් වෙමින් පවතින්නේය. සමාජ ඒකාබද්ධතාවයට අවශ්‍ය ආදරය ඔබට අවකාශීය සමාජ ජිවිතය තුළින් හමු නොවේ. ඒ තුළ ඇත්තේ රාගය වෛරය වැනි පුද්ගල මනස පෙලන තාවකාලික ස්පර්ශයන්ය. එහෙත් සමාජයක් පවතින්නේ ඒ තුළ ආදරයක් පවතින්නේ නම් පමණක්ය. පෙම්වතුන් තුළ අව්‍යාජ ආදරයක් පැවතිය යුතුය.දරුවන් දෙමාපියන් තුල දාරක සෙනෙහසක් පැවතිය යුතුය. පොදු සමාජ ව්‍යුහයක් ලෙස එකිනෙකාට ආදරය කිරිමේ සමාජ ශික්ෂණයක් පැවතිය යුතුය. එහෙත් සිඝ්‍ර‍යෙන් නව තාක්ෂණික සොයා ගැනිම් සිදුකරනු ලබන සමාජයේ ආදරය ගිලන් ඇඳක අතහැර දැමීමෙන් මානව සමාජයක් ලෙස අප පරිහානිය කරා ගමන් කරන බව රචකයා පවසයි.

    සංගිතය ගැන පුහුණු කරන ලද දැනුම් සමුදායක් මා තුළ නැතත් මෙහි සංගිත භාවිතයන් නිතර ඇසෙන රැල්ලෙන් වෙනස් මඟක ගිය නාද මාලාවක් බව මගේ හැඟීමයි. සංගිතඥයාට මේ ලැබී ඇත්තේ යකඩ ගොඩක්ය. එය ඔප මට්ටම් කර නැත. ඒත් මේ කම්බි නවා මනරම් නිර්මාණයක් කිරීමේ වගකිම අමිත් ලියනගේ බාරගෙන ඇත. රචනාව පමණක් නිරික්ෂණය කරා නම් එය කෙසේ ගීතයක් කරනවාද යන ගැටළුව ඔබටද මටද පහළ වීම සාධාරණය. එහෙත් මේ රචකයාගේ පෙර නිර්මාණ අධ්‍යයනයේදි භාෂා භාවිතයට ඔහු දක්වන ප්‍රවිණත්වය කිරිපල්ල වැනි නිර්මාණ මගින් ඔබට හඳුනා ගත හැකිය. සුමට ලයාන්විත වේදනාව හෝ උපහාසය මුසු වූ රචනාවක් ලිවිමට සුජිවට නොහැකි බව මෙයින් ගම්ය නොවන අතර නිර්මාණාත්මක පර්යේෂණයක මේ දෙදෙනාම නියැලෙන බව මේ නිර්මාණය අපට කියාපායි.

    සංගිතය ගැන කතා කිරීමේ දී ආරම්භයේ ඇසෙන සෙලෝ හඬ අපට ද්විත්වාකාර අර්තයන් දනවනු ලබයි. ඉන් පළමු අර්තය වන්නේ සමාජ පරිහානියක් ඒ තුලින් ස්මතු කිරීමට සංගිතඥයා දරණ උත්සාහය යි. දෙවන කරුන වන්නේ මෙතෙක් සාමුහිකව පැවති සම්භාව්‍ය පවුල් ඒකකය සහ සමාජ ඒකාබද්ධතාව ඉන් නිරූපනය වීමයි. කිසියම් සම්භාව්‍ය නාද මාලාවකට සමවැදිමට සූදානම් වන අසන්නා එකවර පුදුමයට පත්කරනු ලබයි. එය හරියට සැන්දෑවක වෙරළක සිරි නරඹමින් සිටින විට සුනාමි ආවා වගේ වැඩක්ය. එය මගේ නිරික්ෂණයට අනුව බරපතල සංගිත ප්‍රකාශණයක්ය. නැතහොත් වික්ටෝරියානු ආධිපත්‍ය තුළ තොරතුරු තාක්ෂණය අපේ සමාජයට රැල්ලක් ලෙස අවතීර්ණ වීම ඉන් නිරූපනය කරයි. එය මෙතෙක් පැවති සමාජය සම්පූර්ණයෙන් වෙනස් කරනු ලබයි. එය අධිවේගි සමාජයක්ය.

    මින් පසු දිග හැරෙන නාද මාලාවන් යම් වැදගත් කරුණක් ඔබට අවධාරණය කරනු ලබයි. එය නම් බටහිර සංගිතයේ භාවිතාවන්ට විශාල ආධිපත්‍යක් නිර්මාණය පුරා දක්නට ලැබීමයි. එහෙත් අමිත් ලියනගේ නම් සංගිතඥයාගේ පරිචය මොනවට කියාපාන සුක්ෂම භාවිතාවක් ඔබට මා පෙන්වා දීමට කැමතිය. ඒ නම් ඩිස්ටෝසන් ගිටාර් සංගිත ආධිපත්‍ය යටින් වරින් වර මතු වන සෙලෝ නාදය සහ බෙර හඬයි. මේ ඔහු පවසන්නේ කුමක්ද? නූතන තාක්ෂණය නම් බටහිර ආධිපත්‍ය අප සමාජය බෙල්ලෙන් අල්ලාගෙන සිටි. වෙනත් සංස්කෘතික ආධිපත්‍යක් හදන්නේ අපේ සමාජයේ ගෙල මිරිකා මරා දමන්නටය. යටින් අසෙන්නේ අපේ සමාජය මරණ මංචකයේදි නගන කෙදිරි ගෑම් සහ අදෝනාය. සංස්කෘති දෙකක් අතර ඝට්ටනයේදී ඇතිවන සංක්‍රාන්ති සමාජ අවකාශය මනාව නිරුපනය කිරිමට අමිත් ගත් මේ භාවිතය අවබෝධ කරගැනිමට පෙර පුහුණු කල මනසක් අවශ්‍යය. මේ අමිත් සංගිත භාෂාවෙන් අපට පවසන දෙය අපේ සමාජය නිරික්ෂණය කලහොත් ඔබට මනාව වටහා ගත හැකිය. බොහෝ තරුණ පිරිස් බටහිර සින්තටික් සංස්කෘතික ලක්ෂණ තම ජීවිතයට ඈඳා ගනිමින් සිටින අතර අපට ආවේනික ඇතැම් සංස්කෘතික ලක්ෂණද තැනිත් තැන අඩු වැඩි වශයෙන් මතු වෙමින් යටපත් වෙමින් පවති. අවුරුදු කාලයට ඊට ආවේනික හර පද්ධතීන් විද්‍යුත් මාධ්‍ය තුලින් ස්මතු කරන අතර ඓතිහාසික සමාජයේ මෙන් ප්‍රබල සාමුහික සමාජ ඒකාබද්ධතාවක් ඒ තුල නොපවතී. එය සතියකින් දෙකකින් මුළු මහත් සමාජයම අමතක කර දමයි. කවිය ගීතය නාට්‍ය වැනි කලාත්මක ලක්ෂණද තැනින් තැන හුදකලාව ක්‍රියාත්මක වේ. එහෙත් බටහිර සංගිතයට සහ චිත්‍රපටියට තරුණ පිරිස සීඝ්‍රයෙන් ආකර්ෂණය වෙමින් පවතී. පාස් ෆුඩ් සංස්කෘතියකට අප සමාජය ක්‍රමයෙන් ගමන් කරමින් සිටි. මමත්වය පුද්ගලයා තුලින් පෙර නොවු විරු ලෙස ස්මතු වෙමින් පවති. අමිත් මේ බටහිර සංගිතය ප්‍රධාන භාවිතාව ලෙස යොදා ගනිමින් අපට පවසන්නේ අපේ සමාජය තුල ක්‍රියාත්මක වන මේ සත්‍යයයි.

    අමිත්ගේ සංගිත භාවිතාවන් සම්බන්දයෙන් මට නිරික්ෂණය වන තවත් කරුණක් ඔබට පැවසිය හැකිය. එය නම් අමිත් මෙහිදි බෙර හඬ වෙනුවට භාවිතා කරන්නේ අපට ආවේනික බෙර හඬක් නොවේය. එය ගැට බෙරය නොවේය. නැත්නම් සාන්තිකර්ම වල භාවිතා කරනු ලබන යක්බෙරය නොවේය. එය කොන්ගාස් නාද මාලාවයි. එයින් ඔහු පවසන්නට උත්සාහ කරනු ලබන්නේ කුමක්ද? එය නම් අපේ සංස්කෘතික ජිවිතයේ ශුද්ධ බව තව දුරටත් අප සමාජය තුල නොපවතින බවයි. තාක්ෂණික ආදිපත්‍ය අප සමාජය තුළට පැමිනෙන විටද කාලාන්තරයක් තිස්සේ සිදු වූ සමාජ බලපෑම් නිසා අපේ සංස්කෘතික ලක්ෂණ අහෝසි වී ගොස් හමාරය. යටින් අසෙන බෙර හඬ නැතහොත් කොන්ගාස් හඬ මුසු වූ සෙලෝ නියෝජනය කරනු ලබන්නේ එයයි. අපේ ආගමටද අපේ අධ්‍යාපනයටද අපේ පවුල් ඒකකයටද අපේ නිති පද්ධතියටද ආදි ලෙස සියලු සමාජ ව්‍යුහයන්ට ශුද්ද අනන්‍යතාවක් නැත. අපේ යාතුකර්ම වල නාද රටා භාවිතා නොකර විදේශීය බෙර හඩක් අමිත් භාවිතා කර ඇත්තේ මේ නිසා විය හැකිය. ප්‍රකාශණයක් ලෙස සංගිතය බොහෝ අර්තයන් අපට දනවනු ලබයි. එය මෙබඳු කෙටි විග්‍රයක් තුළින් පැහැදිලි කල නොහැකිය. අනෙක ඒ සම්බන්ධයෙන් අවශ්‍ය තාක්ෂණික දැනුම මා සතු නැත.😂😂ගීතයකට වඩා ඔපෙරාවක පවතින ඇතම් ලක්ෂණ මේ සතුය.

    අමරසිරි පීරිස් නම් මහා ගාන්ධර්වයා මේ මොහොතේ මෙවැනි ගීතයක් ගැයිමට සිටින එකම සුදුස්සා බව මගේ හැඟීමයි. සංගීත ආකෘතියේ පවතින උස් පහත් වීම් මෙතරම් භාවාත්මක ලෙස ගැයීමට වෙනෙකුට පහසු නොවනු ඇත. විශේෂයෙන් තාක්ෂණික වචන උච්චාරනය වින්දනය කල හැකි ලෙස ගැයීමට ඔහු දැක්වු ප්‍රවිණත්වය පුදුම සහගතය. අවසාන වශයෙන් සුජිව සහ අමිත් කිසියම් අභියෝගාත්මක අවදානමක් මේ නිර්මාණය කිරිමේදි භාරගෙන ඇති බව මගේ හැඟීමයි. විශේෂයෙන් අපේ සමාජයේ මිනිසුන් ඉක්මනින් වැළඳ ගන්නේ සරල ප්‍රේමය, විරහව, දුක සහ උපහාසාත්මක රසයෙන් හෙබි නිර්මාණය. නිර්මාණයක් වින්දනයෙන් පසු ඇති තරම් සිනහ වීමට හෝ ඇති තරම් දුක්වීමට හුරුකරනු ලැබු මනසක් අප සතුය. විෂෙයෙන් කලා කෘතියක් රස විදිමේ ශික්ෂනයක් සහිත පුලුල් පරාසයක විහිදුනු පාඨක/රසික පිරිසක් අප සතු නැත. හොඳ සිනමා කෘතියක් නැරඹීමට අතලොස්සක් පිරිසක් පමනක් යන්නේ ඒ නිසාය. හොඳ කලා කෘතියක් රසවිඳීම හෝ කියවිම පටන් ගන්නේ එය ශ්‍රවනය කිරිමෙන් හෝ දැකිමෙන් පසුය. එය වින්දනයේ පශ්චාත් වැඩක්ය. අපේ රසිකයා ගීතයක් අවසන් වන විට එහි පෙල නැත්නම් පඨිතය කියවා අවසන් කරයි. එය නිර්මාණ කාලරාමුවෙන් පිටතට ගෙන යන්නේ නැත. එහෙත් සයිබර් සලබයෝ වැනි නිර්මාණ වල කියවීම පවතින්නේ එහි කාල රාමුවෙන් පිටය. එය සත්‍ය වශයෙන් අභ්‍යාසයක්ය. මේ මොහොතේ කලාව තුල එඹඳු ගණුදෙනුවවක් සිදු නොවුවද එයට නිර්මාණ පරිසරය තුළින් උත්තේජනයක් සැපයිම ගැන මේ තරුණ කලාකරුවන්ට අප ස්තුතිවන්ත විය යුතුය.

    — බුද්ධික ප්‍රදීප් අතුකෝරල —