සොදුරිය කාලය කොතරම් නපුරුද

Lyrics

සොදුරිය කාලය කොතරම් නපුරුද
දිවි හිමියෙන් කදුළැළි පුරවා ගෙන
රැකගත් ආලය උදුරා ගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය

පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
කවිය ඔබම වී නැළවුන යුගයක
හද රැදි ඔබ රුව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරි ද සොදුරිය

සොදුරිය

ලොවට හොරා විළි ලා බිහි කරගත්
වසන්තයේ සද මියැදුන දවසක
බෙදා හදා ගත් දුක වත් අද නැත
ඒ දුක කොතරම් මිහිරි ද සොදුරිය

සොදුරිය

Sonduriya soduriya kalaya Kotharam Napuruda – Amarasiri Pieris peris

More from aveterone

Featured on

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. කාලය කෙතරම් නපුරුද?
    එහෙම අහන්න හිතුණෙ නැද්ද ඔබට කාගෙන්වත්… කවදාවත්… ගෙවෙන හැම මොහොතක්ම කාලය අතීතයේ අයිතියක් බවට පත් කරනවා… අතීතය කියන මහා කන්ද නිර්මාණය කරන්නේ කාලයේ අංශුමාත්‍ර විසින්… මට එහෙම හිතෙනවා. ජීවිතේ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් වගේම සන්තුෂ්ටිය හිතේ පුරවාගෙන ආදරයෙන්, මගේම කරගෙන හිටපු ප්‍රේමණීය මතක හැම දෙයක්මත් කාලයේ නියතය කොහේදෝ කොහේදෝ ඈතකට අරගෙන යනවා… ඒ තමා කාලයේ වගකීම…

    සොඳුරිය කාලය කෙතරම් නපුරුද?
    හදවතේ සිත්තමක් වගේ ඇඳිච්ච ඔබේ රූපයේ විචිත්‍රවත් වර්ණ පදාසයන්හි දීප්තිය මකලා දැම්මේ කාලය… ඔබ නමින් ඇස් අගින් නිරායාසයෙන් වැටිච්ච කඳුළ ඇස් අග හිම වගේ ගල් කළේ කාලය… ඔබ වෙන්ව ගිය දවසේ ඉකිගහපු හදවතට කාලයක් යද්දී ඔබ අතීත මතකයක් විතරක් වුණා… ඔබ මතක්වෙන මොහොතක ඉදිකට්ටකින් පපුව මැද්දට අනිද්දී දැනෙන සියුම් වේදනාවක් ශේෂ කරමින් කාලය ඔබව මතකයේ පාරවල් දිගේ කොහේදෝ දුරකට ගෙනිහින්ලා කොච්චර සැහැල්ලුවෙන් පාවෙන වග කීවත් මට හිතෙන්නේ වලාකුළක් හරි බරයි… ඔබ ඈත්ව ගිය කාලයේ ඔබ ගැන මතකය ඒ කැටිගැහිච්ච වලාකුළක් වගේ… ඒත් කාලය ඒ බර වලාකුළ ඉහිරිච්ච සුළඟක් බවට පත් කරලා… ඔබව හදවතේ රඳවාගෙන මම වින්ද සුවය සතුට සැනසිල්ල කාලය හොරු අරන්… ඔබ උන්නු තැන හදවතේ දැන් පාළු හිස්තැනක්… එදා ඇස් අග්ගිස්සෙන් ගිලිහී වැටුණු කඳුළු අද නෑ… ඒත් කවදා හෝ දවසක අපි වියපත් වී අහම්බයෙන් අපි මුණගැසුණු දවසක හදවතේ කොහේ හරි හැංගිලා තියෙන වේදනාවක් කඳුළක් වෙලා ඇස් අගින් වැටෙයි කියලා මට හිතෙනවා. භෞතිකව වෙන්වුණු අපි අධ්‍යාත්මිකව වෙන් කළේ කාලය කියන මහා බලවේගය කියලා මට හිතෙනවා.
    ඒකයි මම අහන්නේ ඔබේ සුවඳත් මට අහිමි කළ කාලය

    කෙතරම් නපුරුද සොඳුරිය?
    දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
    රැකගත් ආලය උදුරාගෙන ගිය
    කාලය කෙතරම් නපුරුද

    ඔබ ගියත් ඔබ ගියේ නෑ… ඔබ ගියෙත් නොගිහින් බැරි හින්දා… මගේ ජීවිතේ ඇතුළේ ඔබටම කියලා අඩියක් තියාගන්න ඉඩහසරක් ඔබට නැතිවෙච්ච හින්දා… අයිතියක් කියන්න හදවතේ හැම ඉඩක්ම තිබුණත් ලෝකය ඉස්සරහ කවුරුන්ද ඔබ මගේ කියලා අහන්න වෙන හැම බැඳීමකම අවසන් ඉරණම ඔබ යන්න ගිය මැකිලා වගේ ඉරණමක්… මට එහෙම හිතෙනවා… ජීවිතයම කියලා හිතෙන හිතුවිල්ල ළඟ ප්‍රාණ සම ස්නේහයෙන් රැකගත් ආලය බිඳුණු දිනක් නොපැමිණ අතැර යන දිනක් පමණක්ම ඒනම්

    කාලය තරම් නපුරක් තවත් කොහෙද?
    පෙරුම් පුරා දුක සේ ගලපා ගත්
    කවිය ඔබම වී නැළවුණ යුගයක
    හද රැඳි ඔබ රුව සිහිනෙකවත් නැත
    ඒ රුව කොතරම් මිහිරිද සොඳුරිය

    ඔබ මට කවියක්… ඒ කවිය එළිසමයක් ඇති පූර්ණ පද ගැලපුමක අපූර්වත්වයක් බවට පත් කරන්න දුක් පිරිපතක් දෙවුර දරාගෙන මම පෙරුම් පිරුවා. ඒ ඇයි දන්නවද? ඔබ මට සිහිලසක් ගෙනත් දුන්න හින්දා… එක යුගයක මගේ ජීවිතයම තොටිල්ලක තබා නැළවූ ගීතිකාව වුණේ ඔබ ආදරය… කාලය මහා ප්‍රවේගයක්. ඒ ප්‍රවේගය වියෝවක වේදනාව බිඳෙන් බිඳ අපෙන් උදුරා ගන්නවා… ලේ ගලනා ආත්මීය තුවාල සුවපත් කරන වගකීම කාලය හිතන්නේ එයාගේ යුතුකමක් වගේම වගකීමක් කියලා. චිත්‍රයක් වගේ හදවතේ බිත්ති පුරා ඇඳුණු ඔබේ රූපයේ සියුම් රේඛා කාලය අකා මකා දැම්ම හැටි… මගේ ජීවිත සැනසිල්ලට මහා මිහිරක් එක්කළ ඒ රුව අද මගේ සිහින අත්හැර ගිහින්… ඒත් නිස්කාන්සු සුවයක වෙලීගෙන අතීත මහා සාගරේ පිහිනද්දී මට ඔබව සිහිපත් වෙනවා… මතකය මරලා භෂ්මාවශේෂ සොහොන්ගත කළත් අතනෑර එනවා අවතාරයක් වගේ කොහේ හරි හැංගී ඉඳගෙන… කාලයට දොසක් නොකියා කොහොමද ඉතින් මම… ජීවන මතක අවශේෂ සොහොන් ගැබ පලා මතුකර මොහොතක් තුළ මොහොතකට ජීවමාන කරද්දී…

    ලොවට හොරා විළිලා බිහිකරගත්
    වසන්තයේ සඳ මියැදුණ දවසක
    බෙදා හදා ගත් දුකවත් අද නැත
    ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය

    වෙහෙසකර හැම අත්දැකීමක්ම හැඟීමක්ම සම සිතින් දරාගත හැකිනම් ජීවිතය හැමදාමත් වසන්තයක්… හමන මද නල… පූදින පොහොට්ටු… දලුලන තුරුපත්… පෙති ඇස් හරින කුසුම්… වසන්තයක් අත්හැර යන්නෙ නෑ කවදාවත්… වසන්තයේ සඳ අහසට ගොඩවෙන්නේ අරුන්දතී තාරකාවත් එක්ක… තවත් පසෙක හත්දින්නත් තරු… නිල් එළි විහිදන තරු මහා මැදියමේ සීතලෙත් ඇස් ඇරගෙන… සඳ දිය පොළොවටම ඇවිත්… සාගර දියකඳ මත වැතිරගෙන… ගං දිය මත නිදිකිරමින් මවන අසිරියක්… ලෝකෙටම හොරෙන් වේදනා විඳගෙන මම බිහිකරගත් මගේ සඳත් ඒ වගේමයි මට එදා… ඒ මගේ සඳ තමයි ඔබ. මට ඒ සඳ මියැදුණ දවසක ඔබ නිසා අහසක් වෙච්ච මගේ ජීවිතය හිස් යායක් විතරමයි… එදා මගේ ජීවිතේ හැම දුකක්ම අකුරු වුණේ ඔබ ළඟ… ඒ දුක අහන්න ඔබ හිටියා… ඒ දුක මාත් එක්ක දරන්න විඳින්න ඔබ හිටියා… ඒ ඔබ කෝ අද? ඒ දුකත් නෑ අද… ඒ දුකවත් තනි නොතනියට හිටියනම් ජීවිතේ අහල පහලක… මට එහෙම හිතෙනවා… ඒ දුකත් එකට බෙදාගනිද්දී විඳගනිද්දී කොයිතරම්නම් මිහිරක් අරගෙන ආවද මගේ ළඟට… ඔබත් නැති සඳ… ඔබ හා බැඳි කිසිවක්ම නැති සඳ ඒ දුකත් මිහිරක් වග හිතෙයි මට.

    මේ ගීතය අපට කියන්නේ කාලය නැමති සුළඟ ජීවිතය හරහා හමා යද්දී ජීවිතය තුළ සඟවා දරා සිටින මතකත් මහා දුරකට රැගෙන ගොස් අප හඬවන වගයි…

    කාලය කෙතරම් සොඳුරුද හිතවත… එසේ අසන්නට සිත්වන අයුරින් කාලය සුවපත් කරන රිදුම් එමටය.
    කාලය කෙතරම් නපුරුදැයි අසන්නට තරම් ජීවිතය හා දියවී ලෙයට මුහුවණ බැඳීම් හමුවීම් විරලය.

    විරල නමුදු නැතුවාමත් නොවන සඳ
    කාලය කෙතරම් නපුරුද?

    ► දන්ත ශල්‍ය වෛද්‍ය අසේල විජේසුන්දර
    deshaya.lk

Enable Notifications OK No thanks