සිනහ වෙනු මැන

Lyrics

සිනහ වෙනු මැන
වේදනා පිසදා
වේදනා පිසදා //

වෙරළ රළ හා තරහ වී නැත
මියුරුසර වෙණ හා බිඳී නැත //

අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත

සිනහ වෙනු මැන…

කඳුල දොම්නස නසන්නට නම්
බමර ගුම් නද අසන්නට නම් //

මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්

සිනහ වෙනු මැන… //

Sinaha Wenu venu Mana සිනහවෙනු – Sunil Edirisingha Edirisinghe

More from elon

1 Comment

Your email address will not be published. Required fields are marked *

  1. අපි ගොඩක් දෙනෙක් දුක් විඳින්නේ අතීතය නිසා. අපිට සතුටින් ඉන්න අමාරු වෙන්නෙම අතීත මතක නිසා. එක පාරටම පිළිගන්න අකමැති උනත් ඒක තමයි ඇත්ත. අපේ අතීතයේ අපේ හිත් දවසගානේ තුවාල කරන මතක තියෙන්න පුළුවන්. ඒ මතක වලට හේතුව දෙමව්පියෝ වෙන්න පුළුවන්. සහෝදරයෝ වෙන්න පුළුවන්. සැමියා වෙන්න පුළුවන්. බිරිඳ වෙන්න පුළුවන්. දරුවෝ වෙන්න පුළුවන්. නෑදෑයෝ වෙන්න පුළුවන්. ගුරුවරයෙක් වෙන්න පුළුවන්. අසල් වැසියෙක් වෙන්න පුළුවන්. ඔෆිස් එකේ බොස් වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේ ආගම වෙන්න පුළුවන්. සමහර විට මේ හේතු එකක් වත් නොවෙන්නත් පුළුවන්. කොහොම හරි අතීත මතක වලින් අයින් වෙලා “අතීතය මගෙ හදවතේ නැත..” කියලා අද දවස හදවතින්ම හිනා වෙලා ඉන්න පුළුවන් නම් කොච්චර වටිනවද නේද?

    සිනහා වෙනු මැන වේදනා පිසදා… වේදනා පිසදා…

    වෙරළ රළ හා තරහ වී නැත
    මියුරු සර වෙණ හා බිඳී නැත
    අහස සඳු හා උරණ වී නැත
    අතීතය මගෙ හදවතේ නැත…

    රැල්ලයි වෙරළයි, වීණාවයි මියුරු සංගීතයයි, හඳයි අහසයි කියන්නේ මේ ලෝක සම්මතයට අනුව වෙන් කරන්න බැරි එකටම ඉන්න දේවල්. හරියට මමයි මගේ දෙමව්පියෝයි වගේ. මමයි මගේ බිරිඳයි වගේ. මමයි මගේ සැමියයි වගේ. වෙන් කරන්න බැහැ. ඒ හින්දා තරහ වෙන්න බෑ. තරහ වෙලා වැඩක් නැහැ.

    අවුරුදු විස්සක් ඔබේ ජිවිතේ කෑවා විනාස කරා කියලා ඔබට හිතෙන ඔබේ අම්මට, සැමියාට සමාව දෙන්න පුළුවන් නම්, වෙනස් වෙන්න ඕනේ ඔවුන්ට වෙනස් වෙන්න ඔවුන්ගේ අතීතය ඔබට අමතක කරන්න පුළුවන් නම්, “ඔය බොන්නේ නැහැ කියලා කොච්චර පොරොන්දු උනත් අදත් බීලා එයි. ඔය මනුස්සයා විශ්වාස කරන්න බැහැ” කියන කටින් “මම දන්නවා ඔයා අද ඉඳන් වෙනස් වෙනවා. මට ඒක මාර විශ්වාසයි..” කියලා කියන්න පුළුවන් නම්, අද වෙනකල් ඔහුගේ බීම නිසා උන ලැජ්ජාව අසහනය රිදීම ඔක්කොම අමතක කරලා ආදරෙන් වැළඳ ගන්න ඔබට පුළුවන් නම්, “ඔය කිව්වට අර මනුස්සයාගේත් එක්ක තියන සම්බන්දෙ තමුසේ නවත්තන්නේ නැහැ.” කියලා බිරිඳට කියන්නේ නැතුව, ඔබේ බිරිඳගේ හිතේ පැහැවන අතීත දුක වේදනාව ඔබේ තුරුලේදී දිය කරලා හැරලා ඇයට නිදහස් වෙන්න පුළුවන් නම්, ඇයට සමාව දීලා ඒ වෙච්චි ඔක්කොම අමතක කරන්න ඔබට පුළුවන් නම්, ඊයේ රණ්ඩු වෙලා වෙන්වෙලා ගිය ඔබේ පෙම්වතා පෙම්වතිය අද හම්බ වෙනකොට ඊයේ නවත්තපු තැනින් අද පටන් ගන්නේ නැතුව “අතීතය මගේ හදවතේ නැත…” කියලා අලුත් දවසක් පටන් ගන්න ඔබට පුළුවන් නම්, විභාගේ ෆේල් වෙලා එන ඔබේ දරුවට “අපිව නැති කරන්න ආපු කාලකණ්නියෙක්” කියලා බනින්නේ නැතුව ඒ දුකට මූණ දෙන හැටි සහ දුක නැති කර ගන්න මාර්ගයේ ඔහුගේ අත අල්ලගෙන පාර පන්නන්න පුළුවන් නම් මේ ලෝකේ කොච්චර ලස්සන කරන්න අපිට පුළුවන් ද?

    කඳුල දොම්නස නසන්නට නම්
    බඹර ගුම් නද අසන්නට නම්
    මියුරු ගී කවි කියන්නට නම්
    වසන්තය ගැන සිතන්නට නම්

    සිනහා වෙනු මැන වේදනා පිසදා… වේදනා පිසදා…

    මේ ලෝකේ හරි ලස්සනයි. කැත කරගෙන තියෙන්නේ අපිමයි. ඔබ අද ඉඳන් අතීතය අමතක කරලා ආදරේ කරන්න පටන් ගන්න. “ඉස්සරත් එයා ඔහොමමයි” “එයාලගේ පරම්පරාවම ඔහොමයි” “ඔයාගේ අම්මගේ ගති තමයි ඔයාටත් තියෙන්නේ” “තමුසෙව හදන්න බැහැ” වගේ වචන ඔබේ ශබ්ද කෝෂයෙන් සදහටම මකලා දාන්න. එයා එයාගේ අතීතයේ දෙයක් ඔයා ඉස්සරහට ගෙනත් පාපොච්චාරණය කරන්න හැදුවොත් “අතීතය මගේ හදවතේ නැත..” කියලා හදවතින්ම එයාට කියන්න. ඔබට ඒ සතුට විඳින්නට පුළුවන්. ජිවිතේ ලස්සන දකින්න ඕනේ නම්, හිනහ වෙන්න ඕනේ නම් අතීතය මකලා දාන්න. සදහටම හිතෙන් මකන්න. අතීතයෙන් පාඩම් ගන්න. ඔබට හැදෙන්න. ඒත් අතීතය ජිවිතේ කර ගන්න එපා. සතියක් කරන්න. ඔබ ඉබේටම ඒ ලස්සන ජීවිතේට පුරුදු වෙයි. ඒ ලස්සන ඔබ අත් දකින කොට ඔබේ ජිවිතයට වසන්තය එනවාමයි!!!

    ~~නිසංසලා රත්නායක~~

Enable Notifications OK No thanks