වක්කඩ ලඟ

Lyrics

වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිත්ත පැටව් උඩ පැන නැටුවා
වැස්ස වහින්නට ඉස්සර අහසේ වලාකුලෙන් විදුලිය කෙටුවා
කිව්වට වස් නැත නිල් නිල් පාටින් කටරොළු මල් වැට වට කෙරුවා
තුන් දවසක් අමනාපෙන් සිටි කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා
ගල මතුපිට මල පිපෙන්න (ගල මතුපිට මල පිපෙන්න)
මල වට බඹරිඳූ නටන්න (මල වට බඹරිඳූ නටන්න)
වැහි වැහැලා ගඟ පිරෙන්න (වැහි වැහැලා ගඟ පිරෙන්න)
ගඟ උතුරා හිත පිරෙන්න (ගඟ උතුරා හිත පිරෙන්න)
ගල මතුපිට මල පිපෙන්න මල වට බඹරිඳූ නටන්න
වැහි වැහැලා ගඟ පිරෙන්න ගඟ උතුරා හිත පිරෙන්න
ගලා හැලෙන වැහි වතුර වගේ උඹ හිනාවෙයන් කලු හිනාවෙයන් //
වෙලා මගේ හිත ඉනාවකින් තව හිනාවෙයන් කලු හිනාවෙයන් //
හිනාවෙයන් කලු හිනාවෙයන් /////

Wakkada Langa laga Diya Watena Thalayata Thiththa Patav – W. D. Amaradewa

More from Admin

Featured on

1 Comment

  1. 1929 අප්‍රියෙල් මස 7 දින රදාවාන ප්‍රදේශයේ උපන් මහගම සේකර මහතා, සිංහල සාහිත්‍යයේ අති විශිෂ්ඨ නිර්මාණ කරුවෙකු ලෙස හැදින්වීම නිවරදිය. ගීත ,නවකතා, කෙටිකතා , නාට්‍ය ඔහු අතින් රචනා වූ අතර චිත‍්‍රපට අධ්‍යක්ෂණයටද ඔහු දායක වී ඇත. තවද රජයේ ලලිත කලායතනයේ විදුහල්පති ලෙසද කටයුතු කළ එතුමා 1976 වසරේ ජනවාරි 14 දින මියගිය අතර මියයන විට ඔහුගේ වයස අවුරුදු වයස 46කි.

    මහගම සේකර මහතා විසින් රචනාකළ පංඩිත අමරදේව මහතා විසින් ගායනා කරන මෙම ගීතය රසවිදින්න අවස්ථාවේ අපිට මැවෙන්නේ කුඹුරක දර්ශනක්. නමුත් වැස්සක් වැටෙන්නට නියමිත කුඹුරක දර්ශනයට වඩා එහා ගිය ශෘංගාරාත්මක අර්ථයක් මේ ගීතයේ මහගම සේකර මහතා සගවා තියෙනවා.

    “වක්කඩ ලඟ දිය වැටෙන තාලයට
    තිත්ත පැටව් උඩ පැන නැටුවා
    වැස්ස වහින්නට ඉස්සර අහසේ
    වලාකුලෙන් විදුලිය කෙටුවා”

    ගීතයේ කියැවෙන සිදුවීම ඇතැම්විට ගොවියෙකුට සම්බන්ධ සිදුවීමක් වෙන්නට පුලුවන්. පලමු පද පේලියෙන් අපිට තේරුම් ගන්නට පුලුවන් ගැමි පරිසරයකට වැස්සක් ඇදහැලෙන්නට නියමිත පෙර නිමිති අවට පරිසරය හරහා මතුවෙමින් තිබෙන බව. ගැමියෙකුට, ගොවියෙකුට වැස්සක් යනු බොහෝ ප්‍රාර්ථනා ඉෂ්ඨ කරන්න සිදුවීමක්.

    කිව්වට වස් නැත නිල් නිල් පාටින්
    කටරොළු මල් වැට වට කෙරුවා…

    කටරොළු මල් පිපී ඇති ලෙසින් අදහස් වන්නේ බොහෝවිට ගැමියාට පවතින වැසි වාතාවරණය හමුවේ තවත් සොදුරු දසුනක් නෙත ගැටීමක් ලෙස අපට සිතන්නට පුලුවන්.

    තුන් දවසක් අමනාපෙන් සිටි කලු
    නෝක්කාඩු බැල්මෙන් බැලුවා…

    පෙර කටරොළු මල් පිපී ඇති බවට දුන් ඉගිය කාන්තාවක් පිළිබඳ කියවූවක් බව අපට හොදාකාරවම ⁣මෙතනදි තේරුම් ගන්න පුලුවන්. තුන් දවසක් අමනාපෙන් සිටි ඇතැම් විට ඇය දින කිහිපයක් ඔහු හා විරසක වී සිටියා විය හැකියි. නැතිනම් දෙදෙනාගේ සම්බන්ධ වෙනුවෙන් පැවති බාධාවක් මගහැරී ගියා වන්නට පුලුවන්.

    තවද මල්වර වූ කාන්තාවක් ඔසප්වීමේදී දින තුනක කාලයක් කිලි පවතින බවට පැරැණි ගැමි මතයක් ඇති අතර, දින තුන අවසානයේ ස්නානයෙන් කිලි මිදෙන බව කියැවේ. මේ හේතුවෙන් ගැමි අඹු සැමි යුවලක් මේ කාලයේදී තරමක් සමීප සම්බන්ධතා පැවැත්වීමෙන් වැලකී සිටිනවා විය හැකිය.

    ගීතයේ කියවෙන දෙයට අදාලව මෙම සිදුවීම බොහෝසේ ගැලපෙන බවට අපට සිතන්නට පුලුවන්.

    කටරොළු මලෙහි විද්යාත්මක නාමය වන්නේ Clitoria ternatea. කටරොලු මලට මෙම නාම යොදා ඇත්තේ එය ස්ත්‍රී බාහිර ලිංගික අවයවයේ ස්වරූපයට සමාන නිසා බව කියැවේ. එය “clitoris” යන වචනයෙන් නිර්මාණය වූවකි.

    මහගම සේකරයන් කටරොළු මල් හරහා උපමා කරන්නට දැරූ උත්සාහය පිළිබඳ හේතුව දැන් ඔබට පැහැදිලි ඇති.

    “කලු නෝක්කාඩු බැල්මෙන් බැලුවා” ලෙසින් මහගම සේකරයන් කියන්නට උත්සාහ කරන්නට ඇත්තේ තමන්ගේ කිලි මිදීම නිසා සැමියාට ඒ පිළිබඳ ඇය විසින් ඉගි ලබාදීම සම්බන්ධයෙන් විය යුතුයි.

    වැසි සහිත කාලගුණයක් යනු ශෘංගාරාත්මක සිතුවිලි පහලවීමට ඉඩක් ඇති අවස්ථාවක් ලෙස බොහෝ නිර්මාණ හරහා කියැවෙන කරුණක් සේකර මහතාද අපූරුවට ගලපා ඇත.

    ගල මතුපිට මල පිපෙන්න
    මල වට බඹරිඳූ නටන්න
    වැහි වැහැලා ගඟ පිරෙන්න
    ගඟ උතුරා හිත පිරෙන්න

    මෙම පද පේලියේදී ගීතයේ රිද්මය තරමක් වැඩිවී ගීතයට යම් ජවයක් ලබාදේ. තවද එමගින් ගීතයේ ඇති ශෘංගාරාත්මක බවද තරමක් වැඩිවේ. මෙහිදී යුවල විසින් කිසියම් ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීම පිලිබඳ සේකර මහතා විසින් කියන්නට උත්සාහ දරා ඇති බවට වටහා ගන්නට පුලුවන්.

    ගලා හැලෙන වැහි වතුර වගේ නුඹ
    හිනාවෙයන් කලු හිනාවෙයන්
    වෙලා මගේ හිත ඉනාවකින් තව
    හිනාවෙයන් කලු හිනාවෙයන්…

    මෙම සිදුවීම අතර කාලයේ ගීතයේ මුලින් ඉගි ලබාදුන් වැස්ස ඇදහැලෙමින් ඇත. අහසින් වැටෙන වැහි වතුර ගලන්නේ බොහෝ බාධක හරහායි. එලෙසම දෙදෙනා ශෘංගාරාත්මක සතුටක් බලාපොරොත්තු වෙන බවට මෙහිදී රසිකයාට කියන්නට උත්සාහ දරා ඇත.

    කුඩා ළමුන්පවා මේ ගීතය ප්‍රසිද්ධ වේදිකාවල ගායනා කරන අවස්ථාව ඔබ දැක ඇති. ඉහත අප කතා කළ සිදුවීම සේකර මහතා විසින් ගීතයේ බලාපොරොත්තු වූ අදහස නම්, * කුණුහරප * ලෙස කෙනෙකුට කියන්නට හැකියාවක් ඇත. ගීතය ළමයෙකුට කිසිසේත්ම සුදුසු නොවන ගීතයක් ලෙස වර්ග කරන්න හැකිය.

    නමුත් සේකර මහතා අති විශිෂ්ඨ ලෙස සියල්ල උපමා කර ඇත්තේ පරිසරයටයි, කුඹුරක් , වැස්සක් , දියඇලි , මල් , ගල් හරහා සියලු කරුණු වියන්ගයක් බවව සේකර මහතා පරිවර්තනය කර ඇත.

    සේකර මහතා විසින් ගීතයේ බලාපොරොත්තු වූ අදහස නම්, ලෙස මා ඉහතදී හැදින්වූයේ මෙම ලිපිය කිසිසේත්ම ගීතයේ අරුත නොවන බවට කෙනෙකුට තර්ක කිරීමට හැකියාවක් ඇත. එසේ මේ කරුණු ගීතයට සම්බන්ධ නොවන බව සිතමු. නමුත් අප කතා කළ කරුණු යම් ගැලපීමක් නැහැ ලෙසටද අපට සම්පූර්ණයෙන් කිව නොහැක.

    ලිපිය අවසානයේ මෙම ගීතය අති විශිෂ්ඨ නිර්මාණයක් ලෙස ඔබ වර්ග කරනවා නොඅනුමානයි. සැබවින් එය එසේමය.. නමුත් මෙවන් නිර්මාණ ඉදිරියටත් බිහි කිරීමට සේකර මහතා හෝ අමරදේව මහතා අද අප අතර නැත……

    – මයුරපාද මිතුරෝ –