Yakada Manamali

යකඩ මනමාලී

Lyrics

ආර්ට් පුරවපු කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
මාත් දකිනවා මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි
ස්මාට් තිරවල දැක්කෙ නෑ බං උන්ගෙ අමු කෑලි
කටු ගඩොල් බිත්තියෙත් ඇඳෙනවා
ආර්ට් බොබ්මාලි

එකතු කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි

එකතු කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි

සුවඳ මලකඩ පර වෙන්නේ නැති යකඩ මල් බෝකී
හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලි ම කෑලි
ඒත් පොඩි උන් අඬනවා මඟ බලන් ඇති ගෑනි
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති
කැලේ ඇතුළෙම පරවෙනවා වෙනව බං හුඟක් මල් ජාති

එකතු කරගෙන පරණ බඩු කෑලි
දිලෙන සියුමැලි යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ යකඩ මනමාලි
දුටිමි මලකඩ කරගැටම පේලි
කැලේ වැද්දගේ.. යකඩ මනමාලි

Kale waddage weddage vaddage yakada manamali – Sanjeew Lonliyes – සංජීව් ලෝන්ලියෙස් sanjive sanjew sanjeev යකඩ මනමාලී | අමු සින්දුව

More from raccoon

1 Comment

  1. ” යකඩ මනමාලි ” වර්තමාන සමාජයේ අදුරු පැතිකඩක් පිලිබඳ සිත්තම් කෙරුණු අතිශය නිර්මාණාත්මක ගීතයක්. ගීතයක නිර්මාණාත්මක බව වැඩිවෙත්ම පුලුල් සමාජ කොට්ඨාසයන්ට විවිධ ආකාරයෙන් ගීතය රසවිදීමට හැකියාව ලැබෙනවා .
    මෙම ගීතයේ වීඩියෝවෙන් දැක්වෙන අරුත ඉන් එකක්. මම ඔබට ආරාධනා කරනවා මෙම ගීතය වීඩියෝව නොමැතිව රසවිදින ලෙසට. මෙම ගීතයේ සැඟව ඇති ව්‍යංගයන් තේරුම් ගැනීමට ඔබට එය උදව්වක් වේවි.
    ගීතයේ පද විවරණයට පෙර මුළු නිර්මාණය වෙත අවධානය යොමුකරමු. නව පරපුරට ඔවුන්ගේ වචන වලින්ම ආමන්ත්‍රණය කර තිබීම, මෙම ගීතයේ පද රචනාවේ මම දකින විශේෂත්වයයි. සහ ඉතා සරල තේරුම් ගැනීමට පහසු බාෂාවෙන් ගීතය රචනා වී තිබෙනවා.
    ගායකයා විසින් ගීතයට මුසු කලයුතු හැගීම්, සහ අලංකාරත්වය, අඩුවක් නැතිව උපරිමයෙන් ලබාදී ඇති ආකාරය ඔබ ගීතය රසවින්දා නම් දැනටමත් දන්නවා ඇති.
    මම කලින් සඳහන් කල ආකාරයට මෙම ගීතය විවිධ අර්ථ වලින් රසවිදින්න පුලුවන්. ගීතයේ මතුපිට අර්ථය නිකුත් කර ඇති වීඩියෝවෙන් රසවිදින්න පුලුවන්. කෙටියෙන් කිව්වොත් ගෙයින් ගෙට ගොස් යකඩ එකතු කරගෙන කොලබට විකුනන රස්සාවක් කරන පුද්ගලයෙක්ගේ කතාවක් ලෙස රසවිදින්න පුලුවන් , අනෙක් අතින් ව්‍යංගයෙන් කියවෙන ගණිකා වෘත්තීයට කාන්තාවන් කොළඹට විකුණන පුද්ගලයෙක්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් ලෙස රසවිදින්න පුලුවන්. ගීතයේ විශේෂත්වය වෙන්නේ ඒ අර්ථයත් විවිධාකාර විදිහට රසවිදීමට ඇති හැකියාවයි.

    ආර්ට් පුරවපු කැනබි විහිදුණු දරුණු පපු ලෑලි
    මාත් දකිනවා මේ සොසයිටියෙ හුඟක් වැඩ කෑලි

    මේ පද පේලි දෙකෙන් වර්තමාන සමාජයේ එක් අදුරු කලාපයක් කථානායකයා විසින් විස්තර කරනවා. පච්ච කොටපු පපුව එලියෙ දාගෙන ගංජා සුරුට්ටුවක් අදින පුද්ගලයෙක් මවාගන්න. රචකයා දකින ඒ පුද්ගලයා කෙට්ටු චරිතයක් ( පපු ලෑලි ) හැබැයි ඉදිමිච්ච හිතක් ඇත්තෙක් ( දරුණු යන වචනය මුලු වාක්‍යාර්තයෙන් ගන්න). මේ විස්තර වෙන්නේ එක් පුද්ගලයෙක් ගැනනම් නෙවේ. ඊලග පද පෙලෙන් ඔබට තේරුම් යන්වා මේ කියන්නේ මේ සමාජය ගැන. එදා වේල කන්න නැතුව මන්දපෝශනය හැදුනත් පුරුදු අත්හරින්න බැරි කාලකන්නි කමට ඇබ්බැහි උන හැබැයි මම තමා වැඩ්ඩා කියලා හිතාගෙන ඉන්න සමාජයේ මෙවැනි පුද්ගලයන්ට ව්‍යංගයෙන් පහර දීමක් සහ විස්තර කිරීමක්. කතානායකයා ගනුදෙනු කරන පරිසරය විස්තර කිරීමක්.

    3. ස්මාර්ට් තිරවල දැක්කෙ නෑ බං උන්ගේ අමු කෑලි
    4. කටු ගඩොල් බිත්තියෙත් ඇදෙනවා ආර්ට් බොබ්මාලි
    පලමු පද පේලි දෙකේ ගැබ් වෙන අර්ථය තව දුරටත් මේ පද පේලි දෙකෙන් විස්තර වෙනවා. ස්මාර්ට් දුරකතන භාවිතා කරන ඔබ දන්නවා සමාජ වෙබ් අඩවි වල වෙන දේවල් එහෙම නැත්නම් සමහර දේවල් දැක්කාම ඔබට මල විකාර එහෙම නැත්නම් මුට පිස්සු කියලා හිතෙන අවස්ථා ඕන තරම් ඇති. 3 පද පේලියේ “අමු කෑලි” කියන පදයෙන් හැගවෙන්නේ “විකාර” යන අර්ථය.
    4 පද පේලිය දිහා හොදට බලන්න , ඒකේ පොඩි ව්‍යංගයක් තියනවා. ඔබ ප්‍රශ්න කරන්න පුලුවන් “ඇයි ඕනේ තැනක නිර්මාණ බිහිවෙන්න පුලුවන් , කටු ගඩොල් බිත්තියේ ආර්ට් ඇදුනට එහෙනම් මොකද වෙන්නේ ” කියලා. නෑ එහම නෙවේ , බලන්න මෙතනදි 3 වෙනි පද පේලියෙන් විස්තර කරපු ඒ සමාජ ජාලා වල නිර්මාණ කරන සමාජය කතා නායකයාගේ ඇසින් විස්තර කිරීමක්. අවශ්‍ය නැති තැන් වල අවශ්‍ය නැති දේවල් කරන එක කඩදාසියේ ඇදෙන්න තිබුන ආර්ට් එක කටු ගඩොල් බිත්තියක ඇදෙනවා වගේ.

    මේ පලමු පද පේලි 4 විස්තර කිරීම කෙටියෙන් සිදු කලේ. මෙහි නිර්මාණාත්මක බව නිසා පිටු කීපයක් වුවත් විස්තර කරන්න පුලුවන්.

    5. එකතු කරගෙන පරණ බඩු කෑලී
    6. දිලෙන සියුමැලි යකඩ මනමාලී
    7. දුටිමි මලකඩ කරගැටම පේලී
    8. කැලේ වැද්දගේ යකඩ මනමාලී

    මෙම පදපේලි 4 ඔබට විවිධ අර්ථ වලින් රසවිදින්න පුලුවන් ( අර්ථ 3 ක් ) නමුත් මම මේ නිර්මාණයේ මූලික අදහසට ගැලපෙන ආකාරයේ වින්දනයක් ලබා දෙන්නම්.

    මම කලින් සඳහන් කල ආකාරයට ගීතයේ කතා නායකයා ගණිකා වෘත්තියට ගැහැනුන් සප්ලයි කරන පුද්ගලයෙක්. කොළඹ උසස් පන්නයේ යැයි සැලකෙන පුද්ලයන්ට , සාද වලට , සමාජ ශාලා වලට ගැහැනුන් රැගෙන යන මොහුට ගණිකාවන් සපයන ගැහැනියක් ගැන තමා මේ විස්තර වෙන්නේ. බොහෝ විට මෙවැනි පුද්ගලයන් දූශිත සමාජ වටපිටාවක් ඇති සමාජ මට්ටම් වල දැකගන්න පුලුවන්. මොවුන් එදා වේල කන්න තරම්වත් වත්කමක් නැති පවුල් වල ගැගැනුන් සහ ලමුන් එකතු කරලා ගණිකා වෘත්තියේ යොදවනවා. ඒ පවුල් ජීවත් වෙන්නේ ඒ ලේ ගෑවුනු මුදල් මත. ” එකතු කරගෙන පරණ බඩු කෑලී” මේ කොටසින් කියවෙන්නේ ඇය ගනුදෙනු කරන්නේ කුමන වයස් වල ගැහැනුන්ද කියන එක ( පරණ / වයසක )
    6 පද පේලිය ( දිලෙන සියුමැලි යකඩ මනමාලී ) දෙස බලනවානම්, එහි වචන 4 ම විසදා ගත යුතුයි. පරණ යකඩ බඩු ගොඩක් ගැන සිතන්න. පරණ යකඩ බඩු එකතුවක් දිලෙනවාද ? මලකඩ කාපු යකඩ ගොඩ අස්සේ දිලිසෙනවා නම් ඒක රත්තරං නැත්නම් මැනිකක් . යකඩ බඩු හොද ගානකට විකුනලා ඒ සල්ලි වලින් රත්තරං මාල කරාබු වලලු ගත්තාම නම් දිලිසෙන්න පුලුවන් නේද ? . මේ අදහස ඉතා සියුම් ලෙස 5 සහ 6 පද පේලි දෙක එකට ගත්තාම ගැබ්වෙලා තියන්වා . කෙටියෙන් කියනවා නම් වයසින් වැඩි කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවලා හොද ගානක් හොයන , ඒ සල්ලි වලින් කනකර ආභරණ පැලද සිටින කාන්තාවක් ගැන විස්තර කිරීමක්. ” සියුමැලි යකඩ මනමාලී ” …… මලකඩ අයින් කරලා යකඩය මැද්දහම සියුමැලි වෙනවා. එහෙමත් නැත්නම් අලුත් යකඩ දිලිසිනවා සියුමැලියි. මලකඩ කාපු යකඩ ගොඩක් මැද මලකඩ නොකා ඉන්න එක හරිම අමාරුයි . මේ කාන්තාව ඒ වගේ. මෙතන “මලකඩ” කියන වචනය යොදාගෙන තියෙන්නේ ” සවුත්තු “, “කිලිටි” යන අදහසින් .

    ” දුටිමි මලකඩ කරගැටම පේලී” හැබැයි තවම මලකඩ කාපු කරගැට තියන්වා. මේ කාන්තාව ගණිකා වෘත්තියේ යෙදී සිට ඇති කාන්තාවක් විවාහා වුනාට පසුව ගණිකා වෘත්තිය අතෑරලා . ඒකයි යකඩ මනමාලී ලෙස හදුන්වලා තියෙන්නේ.සමහර විට මේ පුද්ගලයා කාලෙකට කලින් මැයව කොළඹට විකුනන්න ඇති .
    කම්කරුවෙක්ගේ අත්ලේ කරගැට පේලියක් තියනවා දැක්කාම ඔබට මොකක්ද හිතෙන්නේ ?. මහන්සි වෙලා ජීවිතේ ගැටගහගන්න විදිහ මැවිලා පේනවා නේද. කරගැට නැත්නම් ඔහු කම්කරුවෙක් කීවත් ඔබ පිලිගන්නවාද ? ඇයගේ අත්ලේ මලකඩ කාපු ( කිලිටි) කරගැට දැක්කාම අන්න ඒ දේම මේ කතා නායකයාට හිතෙනවා.

    පරිසම් නොකලොත් දිලිසෙන යකඩත් මලකඩ කනවා . 8 වෙනි පද පේලියෙන් කියන්නේ අන්න ඒක. “කැලේ වැද්දගේ යකඩ මනමාලී ” වැද්දෙක් මනමාලියෙක් කැන්දන් එනවා. වැද්දා හැමදාම යනවා දඩයමේ, වැද්දා දඩයමේ යන අතරේ මනමාලිට වලහෙක් ගහන්න පුලුවන් , නැත්නම් කොටියා කන්න පුලුවන්. පරිස්සම් කරන්න අමාරුයි. දඩයමේ යන වැද්දාව කොටියා කෑවොත් කාලා හමාරයි. මේ කාන්තාව කැලේ වැද්දගේ බිරිදට සමානයි.

    9. සුවඳ මලකඩ පරවෙන්නෙ නැති යකඩ මල් බෝවී
    10. හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලිම කෑලී
    අවසන් පදපේලි 4 න් මේ රස්සාව කරන පුද්ගලයා කොපමණ අකමැත්තෙන් මේ රස්සාව කරනවාද යන වග , ඔහුගේ සංවේදී බව සහ සමජයේ අදුරු බව පිලිබදව හොද රසවින්දනයක් ලබාගන්න පුලුවං.

    9 වෙනි පද පේලිය ” සුවඳ මලකඩ පරවෙන්නෙ නැති යකඩ මල් බෝ වී ” මේ පද පේලිය හා මුසුවුනු තනුව සහ සංගීතය ඔබට කතාව පැහැදිලි කරලා දෙනවා. ගායකයා ඔහුගේ හදවතෙන්ම නැගෙන වේදනාවෙන් කියන්නේ මෙන්න මේකයි.
    මලකඩ සුවඳ පරවෙන්නේ නැති යකඩ මල් බෝවෙලා. රචකයා කලින් පද වලින් විස්තර කරපු ඒ මලකඩ ( කිලිටි ) සමාජය ඒ කිලිටි සුවඳ යන්නේ නැති පැටව් බෝ කරලා. දෙමාපියන්ගෙන් , සමාජයෙන් දරුවන්ට ලැබුණු ඒ මලක්ඩ දායාදය මලකට සමාන කරලා. “සුවඳ මලකඩ පරවෙන්නේ නැති” ඒ ගති ගුණ මලකඩ උවත් දරුවන් ඒ කිලිටි ගති ගුණ වලට වගකියන්න ඕනේ නෑ. ඔවුන්ට ලැබුණ ඒ දායාදය කිලිටි වුවත් ව්‍යංගයෙන් මලකට සමාන කරලා තියෙන්නේ ඒ නිසයි. ලැබුනේ මල් හැබැයි ඒවා වල මලකඩ ආවේ මේ සමාජයෙන්.
    ” යකඩ මල් බෝවී ” …….. මල් යනු දරුවන්‍ය . ඒ උනාට ඔවුන් මලකඩ සුවඳ හමන යකඩය. මලකඩ ලැබෙන්නේ කොතනින් වුවද අවසානයේ මුලු යකඩයම මලකඩ කාලා තමා නවතින්නේ. ඔවුන්ට ලැබුන ඒ දායාදය නිසා කවදා හරි ඔවුනුත් ජීවිතේ විනාස කරගන්නවා.
    මෙහි බෝවී කියන වචනය යොදාගෙන ඇත්තේ සමාජයේ නීර්ථක බව සලකුනු කරන්න. සත්තු මිසක් ලමයි බෝ වෙන්නේ නෑ .

    ” හිතෙන්නෑ විකුණන්න කොළඹට සියුමැලිම කෑලී” මේ පුද්ගලයාගේ රැකියාව අනුව ඔහු ගණිකා වෘත්තියට කාන්තාවන් රැගෙන යන පුද්ගලයෙක් කියා මා කලින් විස්තර කලා. ඔහු කාන්තාවන් විතරක් නෙවේ , යාන්තන් වයස පැනපු ගැහැනු දරුවන් සහ අඩු වයසේ දරුවනුත් ගෙනියනවා. ඔහුට සංවේගයක් ඇති වෙනවා. සමාජයේ/ දෙමාපියන්ගේ වැරදි නිසා මලකඩ උරුම උනත් සමහර සියුමැලි ගති ඇති ලමයි ඔහුට විකුණන්න හිතෙන්නේ නෑ. මෙතන සියුමැලි කියන වචනය භාවිතා කරලා තියෙන්නේ ලපටි , අහිංසක කියන අර්ථයෙන්.

    11. ඒත් පොඩි උන් අඩනවා මග බලන් ඇති ගෑනී

    ඔහුට ඔහුගේ ලමයි මතක් වෙනවා , බිරිදව මතක් වෙනවා. ඔහු මෙවැනි රැකියාවක් කලත් ඔහුට ඔහුගේ දරුවන් තුලින් මේ දරුවන් පේනවා ඇති. ඔහුට ඇතිවෙන සංවේගය ඔබ මවාගන්න. ඔහුට මේ දරුවන්ව ගෙදර ගෙනියන්න හිතෙනවා ඇති හදාගන්න. ඒ උනාට ලමයි අඩන්නේ ඇයි , බිරිද මග බලන් ඉන්නේ ඇයි… ඔවුන්ගේ කුස පුරවන්න එදා වේල හම්බ කරන් එනකන් වෙන්න ඇති. ඔහුට මේ ලමයින්ව අරන් හදාගන්න වත්කමක් නැතිව ඇති. බිරිඳ මොහු කරන රැකියාව දන්නේවත් නැතුව ඇති.
    (මෙතන කෑලි කියන වචනය භාවිතා කර ඇත්තේ ඔහු රැකියාවේ දී වයස් බේදයකින් තොරව සියල්ලන් දකින්නේ සහ හදුන්වා දෙන්නේ ඒ වචනයෙන් නිසා.)

    12. කැලේ ඇතුලෙම පරවෙනවා බං හුඟක් මල් ජාතී..

    නිර්මාණයේ අවසාන පද පේලිය. ඔහු සමාජයට / ඔබට ආමන්ත්‍රණය කරලා කියනවා ” කැලේ ඇතුලෙම පරවෙනවා බං හුඟක් මල් ජාතී..” කැලේ ඇතුලේ පිපෙන මල් කිසිවෙක් දකින්නේ නෑ , මොහු සිටින කැලයේ පිපෙන මල් දකින්නේ මොහු පමණයි. ඒ මලකඩ සමාජයේ පිපෙන ලමයි බොහෝ දෙනෙක්ට සුවද දෙන්න කැලයෙන් එලියට එන්න ලැබෙන්නේ නෑ . ඒවා ඒ කැලේ ඇතුලෙම පරවෙන්වා.

    මේ නිර්මාණය විවිධ ඇතිකඩ වලින් අග්‍රගන්‍ය නිර්මාණයක්. කෙලින්ම සමාජයේ භාවිතා වන වචන වලින්ම රසිකයා ආමන්ත්‍රණය කර තිබීම ඉන් එකක්. අනික් කාරනය මේ නිර්මාණය විවිධ තේරුම් රාශියකින් රස විදීමට ඇති හැකියාව . නිර්මාණයක නිර්මාණාත්මක බව මනින්න අන්න ඒක පාවිච්චි කරන්න පුලුවන්. තව කාරණයක් තියනවා. මේ ගීතයේ වීඩියෝව මගින් යට අර්ථය සඟවා තැබීම. සමාජයෙන් සැගවුණු දුක් මුසු කතාවක් කියන නිර්මාපකයා ඒක සමාජයෙන් වහන්න ඔහුගේ නිර්මාණයේම කොටසක් භාවිතා කරලා. මේ ගීතයේ වීඩියෝව එහි සත්‍ය අරුතට ගැලපෙන ආකාරයට නිර්මාණය වූවානම් අරුතට හානි වෙන්න තිබුණා. අනික එහෙනම් ගීතය තහනම් වෙන්නත් තිබුණා මෙහි එන සමහර වචන නිසා.

    අවසානයේ කියන්න ඕනේ. මේ සියල්ල මා ගීතය දකින ආකාරය පමණක් බව. මෙහි කතා මූලය දන්නේ රචකයා පමණයි. අවසානයේ ගීතයේ නිර්මාපකයා වන සංජීව ලෝන්ලියස් හට ස්තූති වන්ත විය යුතුයි මෙවැනි නිර්මාණයක් දායාද කලාට.

    – හසිත මදුසංක-
    miyurugee.weebly.com

Enable Notifications OK No thanks