පවිත්‍ර ප්‍රේමය විශ්‍රාම ගිහින්

සෙනෙහස ඉල්ලා ලියතඹරා ළඟ , හඬා වැටෙනවා මියෑසි කැළක්‌

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා, මලට වඩා විෂ බඹර තුඩක්‌

ලියතඹරා…. දුටුවන් උන්මාදයට පත්කරන මලක්‌… තවුස්‌ දම් පුරන්නෝ පවා ලියතඹරා මලක්‌ දුටුවොත්…. සමවැදී උන් දැහැන් බිඳෙනවා…… ශෘංගාරාත්මක හැඟුම් පුබුදුවන එවන් වූ මලක්‌ අසලට වී සංගීත නාදය පතුරන්නෝ කැළක්‌ හඬා වැටෙන්නේ වෙන කිසිවක්‌ නොව ආදරය ඉල්ලාය.

කපුරු මලක පෙති සිඳ බිඳ දැමුවා මලට වඩා විෂ බඹර තුඩක්‌……

කපුරු මලින් වහනය වන සුගන්ධයට බඹරු වහවැටෙනවා මේ සුවඳ නිසාම බඹරු මිය යනවා….. හරියට ලියතඹරා මලක්‌ දුටුවාම තවුසන්ගේ දැහැන් සිඳී බිඳී යනවා වගේ….. ඒත් ගීත රචකයා මේ ගීතයෙන් පවසන්නේ කපුරු මලට වඩා බඹර තුඩ විෂ බවයි.

ව්‍යංගාර්ථයන්ගෙන් පිරී තිබෙනා මේ ගීය හොඳින් කියවා බලන්න. බඹරා කියන්නේ ආදරයට උපමාවක්‌……. පෙම්වතාටත් බඹරා කියා කියනවා……. කොතරම් සුවඳවත් මලක්‌ වුණත් බඹරාගේ කුරිරුකම නිසා විනාශ වෙනවා. බඹරාගේ තුඩට කපුරු මලක්‌ මැරේ නම් අනේක මල් ගැන කවර කතා ද……ගීත රචකයා මේ කියන්නේ ආදරයේ කුරිරු බව මිස අන් කවරක්‌ද?

වැහි කළුවර ඇති සැන්දෑ සමයක , තරු මල් පිපුණලු අහස්‌ ගැබේ

දේවදූතයොත් හඬා වැටෙනවා , පෙම්මල් ඉහිරුණු පාර දිගේ…


ආදරය සියයට සියයක්‌ම කුරිරුයි කියා නොකියන තරමට රචකයා මෙතැනදී පරෙස්‌සම් වෙනවා…… “වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුණලු අහස්‌ ගැබේ” කියා ඔහු කියන්නේ ඒ නිසයි.

සැන්දෑ අහස වැහිවළාවකින් අඳුරුවෙලා….. ඒත් නබෝ ගැබ තුළ තරු මලුත් පිපිලා.. ඒ කියන්නේ ඉඳහිට හරි පිවිතුරු ආදරයක්‌ තිබෙනවා කියා නොවේද?

ප්‍රේමය බිඳ වැටුණාම දුක්‌ නොවන කෙනෙක්‌ සිටීද.. දේව දූතයන්…. හරිම පවිත්‍රයි….. පිවිතුරු බවේ සංකේතය තමයි දේවදූතයන්. ආදරයක්‌ කැඩී බිඳී යනවා කියන්නේ පිවිතුරු බව පලා යැමක්‌…..

යෞවනයේ සිත් විෂ කළ ප්‍රේමය , කළි යුගයේ ඇත පහළ වෙලා

අසම්මතේ සිත් වැටහෙනු නොහැකිව , පවිත්‍ර ප්‍රේමය මහලුවෙලා…

ආදරයේ විෂම බව මේ පද පේළියෙන් රචකයා මනාව පෙන්නුම් කරනවා. මේ කලියුග කාලේ…. අපට දකින්න ලැබෙන්නේ අවංක, පිවිතුරු ආදරය නොවේ…… ආදරවන්තයන්ගේ චේතනා පාරිශුද්ධ නෑ. ඒ නිසා පෙම් සටනින් පරාජය වෙනවා. අද ආදරය කරන, යෞවන යෞවනියන්ගේ සිත් ගැනත් ගී පද රචකයා කියනවා. ඔවුන්ගේ සිත් සම්මතයෙන් බැහැරවෙලා. එනිසා ඒ සිත් වටහා ගන්න තරම් පවිත්‍ර ප්‍රේමයට ශක්‌තියක්‌ නැහැ. පිවිතුරු ප්‍රේමය අද යල් පැනගිය එකක්‌. පවිත්‍ර ප්‍රේමය විශ්‍රාම ගිහිං….

උපුටා ගැනීම දිවයින මීවිත 2011/02/06

http://www.divaina.com/2011/02/06/meewitha02.html

අශෝක කෝවිලගේ මහතාගේ ගී පද පේළි සංගීතවත් කරන්නේ එච්.එම්. ජයවර්ධන මහතායි, ගායනා කරන්නේ මාලනී බුලත්සිංහල මහත්මිය

මෙම ගීතය අහන්න පහත click කරන්න

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks