දවසක් පැල නැති

Lyrics

දවසක් පැල නැති හේනේ අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ //

කොළඹ අහස කළු කරගෙන මූදු හුළඟ අඩලන කොට
ඔටුන්න බිම දා දුවගෙන එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ ///

Dawasak davasak Pala pela Nathi Hene Amma Lyrics – Gunadasa Kapuge

More from Admin

Featured on

1 Comment

  1. සිංහල පද වලින් ලියවුනු මම දකින හොඳම මව්ගුණ ගීතය තමා දවසක් පැල නැති හේනේ .. කියන ගීතය. මෙම ගීතය නීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්න ගේය පද රචකයා අතින් සත්‍ය පසුබිමක් මත ලියවුණු විශාරද ගුණදාස කපුගේ සංගීතවත් කොට ගායනා කරන ගීතයක් ..
    මේ ගීතය පහත ජනකවිය ආශ්‍රිතව නිර්මාණය වූවක්.

    මල්ලී මමයි අකුරට යන වෙලාවේ
    කළු කරගෙන ආවයි වැහි වලාවේ
    මුවා වෙන්න ගසකුත් නැති වෙලාවේ
    පමා වෙලා වැහැපන් වැහි වලාවේ
    කලුව් ඇහි වලාව කියන්නේ ඉගෙනගන්නවාට එරෙහිව ආපු භාදක සමූහයට..

    මෙම ගීතය රන්බණ්ඩා සෙනෙවිරත්න මහතා රචනා කොට තිබුනේ පද හතරේ කවි විදිහට කවි 12 ක් . කපුගේත් රන්බණ්ඩාත් දෙදෙනා බොරැල්ලේ YMBA නේවාසිකාගාරයේ හිටිය කාලෙ තමා මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ.. මෙම පද 4 රේ කවි දොලොස පද හයේ ගීතයක් බවට සංස්කරණය කරගන්න කපුගේ දැක්වූ දක්ෂතාවය අගය කළ යුත්තක් . මෙය ගුණදාස කපුගේ ශූරීන්ගේ කලාත්මක දක්ෂතාවය මතු කොට දක්වන්නක්

    දවසක් පැල නැති හේනේ අකාළ මහ වැහි වැස්සා
    තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ
    පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ

    රන්බණ්ඩා මහතා දැන් අපි අතර නැති උනත් ඔහු නුවර කලාවියට අයිති පුද්ගලයෙක්. ඒ නිසා මේ ගීතයේ අද්දැකීමත් නුවර කළාවියට අයිතියි . රන්බණ්ඩා සෙනෙවිරත්න මිහින්තලේ ඉදලා හැතැම්ම හතක් එහා තියෙන මරදංකල්ල කියන ගමේ තමා උප්පත්තිය ලබන්නේ.. නුවර කළාවිය කියලා කියන්නේ නුවර වැවයි , කලා වැවයි , පදවිය වැවයි කියන මේ වැව් තුනෙන් පෝෂණය වන පෝෂක ප්‍රදේශයට . ඒ කාලෙ නුවර කලාවියට මහවැලිය ගිහින් තිබුනෙ නෑ . ඒක නිසා ඒ කාලෙ මිනිස්සුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය උනේ වියලි ගොවිතැන් කරන එක.. වියලි ගොවිතැන් කරනා විට හේන අවුරුදු 5 ක් 6ක් කරන කොට ඒ හේන නිසරු වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන් ඒක දාලා වෙනත් හේනකට යනවා. හැබැයි මේගොල්ලෝ අලුත් හේනෙ තමා පැලක් හදන්නේ , පරණ හේන නඩත්තු කරන්නෙ නෑ . ඒක අභාවයට යනවා . නමුත් පරණ හේනේ තාමත් බටු , මිරිස් වාගෙ දේවල් වැවෙනවා . නඩත්තු කලේ නැති උනත් පරණ හේනට ගිහිල්ලා මේවා කඩාගෙන එන සිරිතක් තියනවා. ඉතින් ඒ ඒවගේ පැලක් නැති පරණ හේනට අම්මා සමග ගිය වෙලේක තමා මේ සිද්ධිය වෙන්නේ. මොකද වෙන්නේ අකාල මහා වැසි වසිනවා. අම්මා මොකද කරන්නේ ‘ තුරුලේ හංගාගෙන මා ඔබ තෙමුණා අම්මේ ‘ අම්මා දරුවව තුරුලේ හංගාගෙන අම්මා වැස්සට මුහුණ දෙනවා දරුවාව නොතෙමී තියාගන්න..
    ‘ පායනතුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ ‘ අම්මා මොකද කරන්නේ වැස්ස පායනකම් දරුවාව තුරුලු කරන් එක අඩියක් වත් ඉදිරියට තියන්නේ නැතුව එක තැනම ඉන්නවා .
    මේ පද පේලියේ මතුපිට වචනාර්ථය ඕක.. හැබැයි මේකේ වචන යට මහා ව්‍යංගයක් සැඟවිලා තිබෙනවා . ඇත්තටම මෙතන පැලක් නැති හේන කියන්නේ මොකකටද .. පියා නැති ගෙදරත් හරියට පැලක් නැති හේනක් වගේ.. දරුවන්ට වැසි සුලං වලින් , ආර්ථික පැත්තෙන් ආරක්ෂාවක් නෑ.. ගෙදර පාලුයි හරියට අර අතෑරල දාපු හේන වගේ.. මේ පියා නැති ගෙදරට දුප්පත් කම, අගහිග නැමැති මහා වැස්ස ඇද හැලෙනවා…කොහොමද ඇදහැලෙන්නේ .. අකාලයේ … රණ්බණ්ඩා මහතාගේ පියා අකාලයේ වෙන්වීයාම නිසා තම පවුලට අකාලයේ ඇද හැලෙන වර්ෂාව අම්මා ඔහුට දැනෙන්න දෙන්නේ නෑ .. අම්මා තම දරුවාව තුරුලේ හංගාගෙන දුප්පත් කම නැමැති වරුසාවට තෙමෙනවා.. දරුවාට අගහිග කම් දැනෙන්නට නොදී. ‘පායන තුරු හිටි පියවර හිටියා ඔබ අම්මේ ‘ අම්මාට ඔන්නම් දෙවැනි විවාහයක් ගැන හිතන්න තිබුණා , නමුත් දුප්පත් කම නැමැති වැස්ස පායනකම් එනම් රන්බණ්ඩා මහතා ඉගෙනගෙන ආර්ථිකය ගොඩනංවාගන්නකම් අම්මා දෙවැනි විවාහයක් සිදු නොකරම හිටි පියවර හිටියා…

    නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා
    බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ
    ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ

    මෑත කාලයේ ලංකාවේ මිනිස්සුන්ගේ ජීවිත වෙනස්කිරීමට මුල්වුණු සිද්ධි කාරණා දෙකක් තියනවා . පලමුවැන්න තමා 1944 දී සම්මත වී 1947 දී ක්‍රියාත්මක වුනු නිදහස් අධ්‍යාපන පනත. අනෙක තමා 1956 දී ක්‍රියාවට නැගෙන ස්වභාෂා අධ්‍යාපන පණත .. පලමුවැන්නෙන් මිනිසුන්ට නොමිලේ ඉගෙනෙගන්න ලැබෙනවා , දෙවැන්නෙන් තමාගේ මව් භාශා වන සිංහලෙන් හා දෙමලෙන් ඉගෙනගන්න ලැබෙනවා.. මේ නිසා ගම් වල සිටින තරුණ පිරිස් නගරයට කේන්ද්‍ර වෙනවා අධ්‍යාපනය සොයාගෙන සහ රැකියා සොයාගෙන.. මේ එනකොට ගමේ තියෙන සම්පත් පොදි බැඳගෙන තමා එන්නේ..
    මොනවද ගමේ තියෙන සම්පත්… මිල මුදල් නෙවේ.. නිර්ව්‍යාජත්වය , අවංක කම , අන්යෝන්‍ය සහයෝගය , කරුණාව .. කොටින්ම කියනවනම් මනුස්සකම් කියන ඒවා.. මේ ගැන මහගමසේකර කවියා මෙහෙම ලියනවා

    සිදාදියට එන්නට මට බුද්ධිය ඔබ තමයි එදා පාර කියා දුන්නේ
    ගමෙන් උරුම වූ වස්තුව පොදි බැඳ කර කරතියාගෙන
    ඔබෙ බහට රැවටිලයි සිදාදියට ආවේ
    ඒ එනකොට ගෙන ආ දෙය වියපැහැදම් කලා මිස
    මෙහිදී අලුතෙන් ඉපයූ කිසිම දෙයක් නැත්තේ
    අම්මේ මට ගමට එන්න පාර කියාපන් ..

    ඔන්න මේ ගීතය ලියන දවසක් පැල නැති හේනේ වැස්ස වැස්සට අම්මා විසින් තෙමෙන්න නොදී රැකගත්ත මේ රචකයාත් දවසක නගරයට එනවා අම්මව ගමේ තනි කරලා.. නගරයෙත් වැස්සක් වහිනවා..
    ‘ නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුන දා’ නුවර වීදි යටකටගෙන වහින්නේ සාමාන්‍ය වැස්සක් නෙවෙයි. නින්දා අපහාස ගොඩක් තමා තමා මේ වැස්සක් වගේ ඔහු මතට පාත්වෙන්නේ.. එදා වැස්සෙන් බේරගන්න තමාගේ ආදරණීය අම්මා හිටියාට.. දැන් නගරයේ ඉන්නේ තමා සහ බිරිඳ පමණයි .. දැන් බිරිඳට හැකි වේවිද මෙයාව නින්දා අපහාස වරුෂාවෙන් ගලවා ගන්න. මොකද වෙන්නේ … ‘ බිරිඳකගේ සෙනෙහේ ගියා යෝධ ඇලේ නැම්මේ..’ යෝධ ඇල හෙවත් ජය ගඟ ඔබ දන්නවා .. කලා වැවයි තිසා වැවයි සම්බන්ධ කරන වාරි මාර්ගය තමා යෝධ ඇල කියන්නේ.. මේකෙ බැස්ම හැතැම්මට අගල් 6 යි.. අනුක්‍රමණය කුඩා නිසා මේ යෝධ ඇලේ වතුර බහින්නේ නෑ වගේ තමා පේන්නේ බහින්නේ හරි හිමීට. ඉතින් නින්දා අපහාස වැසි වසින මොහොතේ ඒවා විශ්වාස කරලා බිරිඳ ගේ සෙනෙහසත් අර යෝධ ඇලේ වතුර බසින්නාක් මෙන් නොදැනීම අඩුවෙලා ගියා.. මේ වෙලාවෙ තමා රචකයාට අම්මාව මතක් වෙන්නේ මහා වරුසාව මැද වුවත් නොසෙල්වේ හිටි අඩිය එහෙම්මම තබාගෙන මාව ආරක්ෂා කරපු අම්මාගේ සෙනෙහස දැන් මතක් වෙනවා. අම්මාගේ ආදරය නැවත වාරයක් දැනෙන්න පටන් ගන්නවා.. රචකයා මෙහෙම කියනවා ..’ ඔබෙ එනෙහස සුවඳ දිදී දැනුනා මට අම්මේ ‘ කොහොමද සෙනෙහස දැනුනේ …’ සුවඳ දිදී …’

    කොළඹ අහස කළු කරගෙන මුහුදු හුලග හඬලන කොට
    ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ
    මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ..

    මොහු දැන් දන්නවා වැස්ස එතනින් ඉවර වෙන්නෙත් නෑ . දැන් රචකයා ඉන්නේ කොළඹ . කොළඹ අහස ගැන කාටවත් අනාවැකි කියන්න බෑ කොයිවෙලේ වැස්ස කඩා හැලෙයිද දන්නෙ නෑ..’ කොළඹ අහස කලු කරගෙන මුහුදු හුලග හඩලනකොට ‘ . වැසි දෙකකට තෙමුන රචකයා වැස්ස එන්න හදනකොට දන්නවා .. රචකයාට නුවර ඔටුන්නක් හම්බවෙලා තියෙන්නේ .. නිල තල , බලය තනතුරු සමහරවිට මුදල් කියලත් අපිට හිතන්න පුලුවන්.. ඉතින් කොළඹ අහස කලු කරගෙන තවත් වැස්සක් එන්න හදනකොට වැසි දෙකකට මුහුණදීලා ඉන්න රචකයාට බයක් දැනෙනවා… මේ වෙලාවේ රචකයාට අම්මාවා මතක් වෙනවා.. අම්මා ඉස්සර වගේ මගෙ ලග හිටියනම් තුරුලේ හංගාගෙන මාව වැස්සෙන් ආරක්ශා කරයි කියන හැගීම එනවා .. ඔහු කියනවා වැස්සක් එන්නයි යන්නේ ‘ ඔටුන්න බිමදා දුවගෙන එන්නද එක පිම්මේ’ මගේ බලතල මුදල් නැමැති ඔටුන්න ගලවලා පැත්තක දාලා එක පිම්මෙන්ම දුවගෙන එන්නම් ඔබ ගාවට අම්මේ කියලා.. රචකයා අහනවා.. මොකක්ද ‘ මං එනතුරු ඉදිකඩ ලඟ ඉන්නවාද අම්මේ..’ .. රචකයාගේ අම්මා මේ වෙලාවේ ජීවතුන් අතර නෑ.. නමුත් වැස්ස එනවා පෙනෙනකොට ඒ බව මතක් වෙන්නේ නෑ.. අන්තිමට ගායකයා මෙම කොටස විලාපයක් වශයෙන් ගායනා කරන්නේ ඒකයි ..
    මට මෙතෙක් හමුවූ අතිශය හැගීම් බර ගීතය තමා මේක.. මෙහි විශේෂ ස්තූතිය රත්න ශ්‍රී මහත්මයාට හිමිවිය යුතුයි ..

    Miyuru Gee – මියුරු ගී අර්ථ විවරණ