Sapathneeroshayak
&

සපත්නීරෝෂයක් | Take Care Theme Song

Lyrics of Sapathneeroshayak 

සපත්නීරෝෂයක් නෑ මගෙ ලොවේ
පතිනියකගේ සුවඳ ඔබෙ සුවඳ නොවේ
දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ
උදුරගත් හාදු සුව සිවිලිමේ මැවේ

සපත්නීරෝෂයක් නෑ කියා ස්ථිරද
ගඳපාන මලක් වුව සුවඳ බව දන්නවද
තුන්පතේ රෑනකට පියසමර කුමකටද
හාදු උදුරන්න බෑ දෙන දෙයක් දන්නවද

රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ
ක්‍රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ
මරණීය රමණීය ශෘංගාර මදහාසෙ
වියැකෙනා දින ළඟයි ගණන් හදපන් අහසෙ

නීතියක් ඕනෙමද සංසාර ප්‍රේමයට
අත්සනට හිමිවේවි ඒ සිරුර සීතලට
මං ආදරේ කළේ පණ ගැහෙන හදවතට
වියැකුණත් මතකයත් ඇති අලුත් රාධාට

Sapathneeroshayak Sapathniroshayak- Dr Nanda Malini And Abhisheka wimalweera wimalawira

More from RogueOne

1 Comment

  1. හැමෝම අහන ප්‍රශ්න ටිකකට උත්තර ♥️

    කව්ද මේ රුක්මණී?
    රාධා ,ක්‍රිෂ්ණා කියන්නේ පෙම්වතා හා පෙම්වතියයි. රුක්මණිය කියන්නේ ක්‍රිෂ්ණගේ පළමු බිරිද. සමහර තැන්වල රුක්මණී ක්‍රිෂ්ණාගේ ආධ්‍යාත්මික පෙම්වතිය කියලත් කියනවා. තව මතවාද ගණනාවකුත් තියෙනවා.

    මේ රාධා ක්‍රිෂ්ණා සහ රුක්මණී ගැන ගැන ජනප්‍රවාදයේ එන එක කතාවක්
    ක්‍රිෂ්ණා අසනීප වෙනවා. නොයෙක් වෙද්දු වෙදකම් කරනවා හරියන්නෙ නෑ. අන්තිමේ ඉන්න දක්ෂම වෙදදුරාව කැඳවනවා. වෙදදුරා ක්‍රිෂ්ණාව පරීක්ෂා කරලා කියනවා මේ ලෙඩේට එක බේතයි තියෙන්නෙ හැබැයි කරන්න අමාරුයි කියලා. රුක්මණී කියනවා සනීප වෙනවා නම් ඕන දෙයක් කරන්නම් කියලා.
    එතකොට වෙදදුරා කියනවා ඒ බෙහෙත කරන්න ක්‍රිෂ්ණාට ආදරේ කරන නැත්නම් භක්තියක් තියෙන කෙනෙක්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න ඕනා කියලා. රුක්මණී මේකට කැමැති වෙන්⁣නෙ නෑ. අනෙක් බිරින්දෑවරුත් මේකට කැමැති වෙන්නෙ නෑ. එයාලා කවුරුත් කැමැති නැහැ ශ්‍රී ක්‍රිෂ්ණාට තමුන්ගෙ කකුල් හෝදපු වතුර බොන්න දෙන්න. එයාලා දකින්නෙ ඒක මහා පාපයක් විදියට.
    පස්සෙ වෙදදුරා යනවා බ්‍රින්දාවනයේ රාධා හම්බවෙන්න. ගිහිල්ලා විස්තරේ කිව්ව ගමන් ම රාධා තමුන්ගෙ කකුල හෝදලා වතුර දෙනවා වෙදදුරාට. මේක කරද්දී වෙදදුරා විස්තර කරනවා ඒ වැඩේ බරපතල කම. ඒක මහා පවක් කියලා. රාධා කියනවා ශ්‍රී ක්‍රිෂ්ණාගේ ජීවිතේ තරම් එයාට කිසි දෙයක් වටින්නෙ නෑ, ඒ නිසා කිසිම පවක් ගැන එයා හිතන්නෙ නෑ කියලා.
    වෙදදුරාගෙන් මේ කතාව රුක්මණීත් දැන ගන්නවා.
    ඉතින් මේ කතාව ඇතුලෙ අපිට පේනවා රුක්මණීයි රාධායි අතර තියෙන වෙනස. රුක්මණී කියන්නෙ ක්‍රිෂ්ණා ගේ විවාහක බිරිඳ. එයාගෙ ආදරේ ඇවිල්ලා ඒ විවාහක බැඳීම් ඇතුලෙ ගලාගෙන යුතුකම් වගකීම් එක්ක තියෙන ආදරයක්.
    එතකොට රාධා, රාධා ක්‍රිෂ්ණා එක්ක තියෙන ආදරේ විවාහයෙන් පිට ආදරයක්.
    හැබැයි බැඳීම ඇතුලෙ ⁣විවාහයෙන් තියෙන යුතුකම් වගකීම් නැහැ. සරලවම ගත්තම රාධාගේ ආදරය සීමා බැඳීම් නැති ආදරයක්.
    ඉතින් මෙන්න මේ අසීමිත ආදරය තමයි රාධා – ක්‍රිෂ්ණා පෙම් කතාව රුක්මණී – ක්‍රිෂ්ණා පෙම් කතාවට වඩා ජනප්‍රිය වෙන්න මූලික හේතුව.

    හැබැයි ජනප්‍රවාද කතාවල එහෙම කිව්වත් බිරිදකගේ ප්‍රේමය පාරිශුද්ධයි. පතිනියගේ සහ ස්වාමියෙකුගේ කතාව ජනප්‍රිය නොවුණට ඒ බැදීම පිවිතුරුයි.ඒ නිසයි මෙහෙම ලියන්නේ…
    “රාධා ක්‍රිෂ්ණා කියා ලීවාට ඉතිහාසෙ-ක්‍රිෂ්ණගේ පණ තිබුණෙ රුක්මණියගේ දෑසෙ ” කියලා..

    ♥️Take Care නාට්‍යයේ තුන්පත් රෑන කවුද?
    බොහෝ අය හිතන්නේ තුන්පත් රෑන කියන්නේ මව, පියා සහ පැටවා බවයි. එය වැරදි අදහසක්.
    තුන්පත් රෑනක ඉන්නේ පැටවා ,වැඩිමහල් සහෝදරිය සහ මව් ඇතින්නයි. පියෙක් තුන්පත් රෑනේ නැහැ.
    තමන්ගේ ස්වාමි පුරුෂයා ගේ දරුවෙක් වෙනත් ගැහැනියකගේ කුසේ හුස්ම ගන්නා බව දැන ගන්නා කිසිම බිරිදක් අසේනි ගත් තීරණය ගනීවිද?
    දරුවන් ලබන්නට ඇයට වරම් නැති වුවත් එය ගල් හිතකට ගත හැකි විරල තීරණයක්. තමාගේ නිවසට ස්වාමි පුරුෂයාගේ පෙම්වතිය රැගෙන එන්නේ ස්වාමියාගේද දැඩි විරුද්ධත්වය මතයි.
    දරුවා රැක බලා ගන්නට ඇය පොරොන්දු වෙනවා..
    නමුත් ටික දිනක් ගතවනවිට සපත්නීරෝෂය ප්‍රබල වෙනවා. වාසල තවමත් පෙම්වතියට පෙම් කරන බව සිතන ඇය මේනකාට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගන්නවා…
    මේනකාගේ කොටසේදී තුන්පතේ රෑනකට පියසමර කුමකටද කියා ඈ අසන්නේම තුන්පත් රෑනක පියෙක් නැති නිසා…
    එහි සිටින්නේ ඇතින්න සහ පැටවා පමණයි. එනම් මේනකා සහ දරුවා පමණයි. සරණට සහෝදරියක්වත් නැහැ…
    “දෙපත් රෑනක් කළේ සාපයයි රුවේ”. මේනකා මෙහෙම කියන්නෙ
    මේ තරම් වැරැද්දක් කරලත් විශ්වාස කරලා සහෝදරියක් වගේ හිතලා තමන්ගේ ගේ ඇතුළට ගත්තට පස්සෙත් මේනකාගේ රුවේ සාපය නැවත තමන්ගෙ සැමියාව උදුරගන්න හදන බව හිතුණු නිසා..
    “උඹ දරුවෙක් එක්ක තනිවුණු ගෑනියෙක්. එහෙම වුණේ උඹ කළ වරද නිසා. රුවේ සාපය නිසා..
    ඒ රෑනේ උඹට සහයට කවුරුත් නැහැ.දෙපත් රෑනක ඉන්නෙත් මව සහ පැටවා පමණයි.
    ඒ වගේම ඇතැම් රටවල මතයට අනුව මේ තුන්පත් රෑනේ Elephant Trio යන්නට මව , මවගේ පළමු මුරයේ ගැහැනු දරුවා සහ දෙවන මුරයේ ගැහැනු හෝ පිරිමි දරුවා ඇතුළත් වන බව මෙන්ම තවත් මතයක් පල කරනවා. එනම් තනි ඇතින්නකට එක් පැටියෙක් පමණක් සිටින අවස්ථාවල ඒ අම්මාගේම දරුවෙක් නොවුණ නමුත් ගැහැනු ඇතින්නක් රෑනට දරුවා රැක බලා ගැනීමට සහය වීමට රෑනට සම්බන්ධ වන බව…
    ඒ අර්ථයෙන් ගත්තත් මේනකාට තමන්ගේ මවවත් නැහැ. නැවත එය දෙපත් රෑනක්ම වෙනවා..
    මේ අවස්ථා දෙකම අසේනි මේනකා හා දරුවාගේ ගේ බැදීමට උපමා කළ හැකියි…

    ♥️සපත්නීරෝෂය ?
    සපත්නීරෝෂය යනු සරලවම සමාන භාර්‍යාවන් අතර ඇති වන කේන්තියයි. ඒ නිසා හට ගන්නා ඊර්ෂ්‍යාවයි.. මෙය ජාතක කතා පොතෙන් හමුවූ වචනයක්. එ ඡද්දන්‍ත නම් ඇතා පදනම් කරගෙන ඇතින්නියන් දෙදෙනෙකු අතර ඇතිවන කතාවක්. ඒ අනුව ගීතයේ බොහෝ තැන් ඇතුන් සම්බන්ධ කරගෙන ලියැවී තියෙනවා.

    ♥️පිය සමර?
    පියා ස්මරණය කිරීම
    පියා සිහි කිරීම
    ප්‍රිය වූ ස්මරණය කියන අර්ථ තුනම ගන්න පුළුවන්. නාට්‍යට අදාලව පළමු අදහස් දෙක වඩා නිවැරදි වෙනවා
    බොහෝ අය මේ ගැන පැහැදිලි කිරීමක් ඉල්ලා සිටි නිසා මේ සටහන ලියන්නට හිතුණා..
    — අභී —

    මේ තුන්පත් රෑන ගැන සොබා ධාරා වැඩසටහන අළලා තැබූ සටහනක්
    ඇත්තෙන්ම තුන්පත් රෑනක බොහෝවිට සිටින්නේ අලි මවත් , ලොකු අක්කාත් , පොඩි අක්කා හෝ මල්ලීත්ය. මොවුන් එකම පියෙකුගෙන් හෝ දෙදෙනෙකුගෙන් ජාත වූ දරුවනය.
    මෙහිදී වැඩිහිටි පිරිමියා තුන්පත් රෑනක නොසිටීමට හේතු වන්නේ අලි රංචු තුළ සිටින නාඹර අලින් වැඩිහිටි බව ලබත්ම රංචුව හැර යන අතර නැතහොත් වැඩිහිටි ගැහැනු ඇතින්නියන් විසින් රංචුවෙන් ඔහුව පළවා හරිනු ලැබීමයි. අලි සමාජය අප මානව සමාජය මෙන් නොව “මාතෲ මූලික” බැවින් මෙහි කිසිදු ගැටලුකාරී තත්ත්වයක් ඇති නොවේ.
    රංචුවෙන් පිටමං කරන ලද පිරිමි අලින් තනි තනිව ඔවුනගේ බල ප්‍රදේශ වල ජීවත් වේ. කට වහරේ “තනි අලින්” ලෙස හඳුන්වන්නෝ මොවුහු වෙති. අභිජනන සමයේදී මඳ වෑහෙමින් අලි රංචු කරා සිය ලිංගික කාර්යයන් සඳහා ගියද මොවුන් අන් කාල වලදී වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම තනිව දිවි ගෙවන්නෝ වෙති. අලි සමාජය තුළ දරුවන් රැක බලා ගැනීම කෙරෙහි පීතෘ පාර්ශවීය දායකත්වයක් දැක ගත නොහැකිය. එය මුළුමනින්ම පාහේ අලි රංචුවේ ඇතින්නියන්(කෙනරන්) සතු කාර්යභාරයක් කොටගෙන පවතී.
    නමුත් දැනුදු පොත් වල පවා මෙය සඳහන් වන්නේ වැරදි ආකාරයටය. මේ එවන් දේ නිවැරදි කිරීමට කාලයයි.
    සොබා ධාරා වැඩසටහන ඇසුරිනි.
    | ගරා යකා තුමා™ |©

    Copied from Internet