Gahaka Mal Pipila

ගහක මල් පිපිලා පිපෙන්නේ

Lyrics

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
නුඹට සිත බැඳුණේ කිමැයි මා
තවම නොදන්නෙමී
නුඹට හිත බැඳි කාරණේ මම
තවම සොයන්නෙමී

කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ
ඇතත් ලෝ දහමින්
සොඳුරු වැස්සට දැවෙන කතරත්
ආදරෙයි පණමෙන්
ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
ඒ වගෙයි මනරම්
කරනු බැරි තහනම්

ගහක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී
හිතක මල් පිපිලා පිපෙන්නේ
ඇයිද නොදන්නෙමී

සඳට සදහට සෙනේ පෑ මුත්
උදුල තරු කැටයම්
හිරුට පෙම් බැඳි එක ද තරුවක්
සිටිය නොහැකිද යම්
නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
ඒ වගෙයි මනරම්
පුදුමවෙයි නුඹ නම්

ගහක මල් පිපිලා පිපෙන්නේ …

Gahaka mal pipila – Karunarathna Divulgane

More from Admin

2 Comments

Your email address will not be published. Required fields are marked *

  1. නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී…

    ආදරය… හරිම පුදුමාකාරයි. සමහර වෙලාවට අපි නොහිතන තැනක ආදරය තියෙන්න පුළුවන්…. කියාගන්න බැරි ආදරයක්‌ තියෙන්නත් පුළුවන්….

    ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමී
    නුඔට සිත බැඳුණේ කිමැයි මා තවම නොදන්නෙමී
    නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී
    ගස්‌වැල්වල මල් පිපෙනවා…. ඒත් ඒ ඇයි කියලා මම දන්නෙ නෑ… හිත සතුටින් පිරී ඉතිරී යනවා… හරියට මල් පිපිලා වගේ…. ඒ ඇයි කියලත් දන්නෙ නෑ… මගේ හිත ඔයා කෙරේ බැඳිලා… ඒක ආදරයක්‌… ඒත් ඒ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ…. මේ ලෙන්ගතුකමට හේතුව මොකක්‌ද… මම තවමත් ඒ හේතුව හොයනවා…
    පෙම්වතෙක්‌… ඒකපාර්ශ්වීය ආදරයක්‌… ආදරය… ඔහු බොහෝ දේවලට උපමා කරනවා… කවදාවත් අපි නොහිතන ආදරණීය උපමා… රූපක.

    ආදරය…. අපි දකින්නේ හැමදාම එකම විදිහට… මට ඕනෑ වුණා වෙනස්‌ විදිහට ආදරය ගැන හිතෙන ආකාරය ගී පදවලට පෙරළන්න… ඒ අනුව තමයි මේ පදපෙළ ලියෑවුණේ… යමුනා මාලිනී… ශිල්පිනිය පැවැසුවා.

    කතරෙ වැලිකැට හිරුට පෙම් බැඳ
    ඇතත් ලෝ දහමෙන්
    සොඳුරු වැස්‌සට දැවෙන කතරක්‌
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම් – කරනු බැරි තහනම්
    කතරක වැලිකැට ඉර අව්වට රත්වෙනවා… ඒක ලෝක දහමක්‌… ඒ කියෙන්නේ වැලිකැටත් ඉරත් අතර සම්බන්ධයක්‌ තියෙනවා… වැලිකැට හිරුටත් හිරු වැලිකැටවලටත් පෙම් බඳිනවා… ඒත් මේ රත්වුණු වැලිකැට හැමදාම හැම තිස්‌සෙම සොඳුරු වැස්‌සක්‌ පතාගෙනයි ඉන්නේ… ඉතින් ඉර අව්වට රත්වුණ වැලිකැට සුන්දර වැහි බිඳුවලට පණ වගේ ආදරය කරනවා… මේක මහා පුදුමාකාර ආදරයක්‌… සෙනෙහසක්‌… මේ සෙනෙහස ලෝකයට පෙනෙන්නේ නෑ… ලෝකය මෙවන් වූ ආදරයක්‌ ගැන හිතන්නෙත් නෑ… මගේ හිතේ ඔයා ගැන තියෙන බැඳීමත් ඒ වගේම තමයි… ඔයාටවත්… ලෝකයාටවත් ඒ ආදරය පෙනෙන්නේ නෑ….

    මම දිවුල්ගනේට ලියූ ගී වලින් ගුණදාස කපුගේ අන්තිමටම තනු රචනා කළ ගීය… මගෙන් දිවුල්ගනේ සිංදුවක්‌ ඉල්ලුවාම තමයි මම මේ ගීය ලියා දුන්නේ… දිවුල්ගනේ පදමාලාවට සාධාරණය ඉටුකරන ශිල්පියෙක්‌… ඒ නිසාම වෙන්න ඇති ඔහු පදවැලක්‌ ඉල්ලුවාම… හොඳට ලස්‌සනට ඒ පදපෙළ ලියෑවෙන්නේ… යමුනා මාලිනී පෙරේරා ගීපද රචිකාව පැවසුවා.
    සඳට සදහට සෙනේ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුට පෙම් බැඳි එකදු තරුවක්‌
    සිටිය නොහැකිද යම්
    නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම් – පුදුම වෙයි නුඹ නම්
    හිරු පායද්දි හිරුගේ තනියට තරුවකුත් පායනවා. ඒ ඉරබටු තරුව. ඉරබටු තරුව හිරුට පෙම් බඳින්නේ ඊට කලින් රාත්‍රියේ සඳුටත් පෙම් බැඳලා. සඳුගේ තනිය මකන්න රාත්‍රියට පායන ඔක්‌කොම තරු හිරුගේ උදාවත් එක්‌ක නිවී යද්දී එකම එක තරුවක්‌ හිරුගේ තනියට ඉතිරිවෙනවා. ඒ මේ ඉරබටු තරුව. ආදරය ඒ වගේ…
    මගේ හිතේ ඔයාට තියෙන්නෙත් ඒ වගේ ආදරයක්‌… ඒක මහ අරුම පුදුම ආදරයක්‌… ඔයාට හැඟෙනවානම් ඒ ආදරය… ඔයා පුදුම වේවි…
    මේ පෙම්වතා උපමා රූපක සියල්ල ගෙනහැර දක්‌වලා අවසානෙදි ඇයට කියනවා. ඔයා දන්නෙ නෑ මගේ හිතේ තියෙන ආදරෙත් මේ වගේ… සැඟවුණ ආදරයක්‌ කියලා….
    මේ ගීයට ඒ කාලේ හුඟාක්‌ ප්‍රතිචාර ආවා. සමහර රසිකයන් තම තම නැණ පමණින් ගීය ගැන තේරුම් අරගෙන විවිධ අදහස්‌ පළකරන්න පටන් ගන්තා…. යමුනා මාලිනී ප්‍රකාශ කළා…
    – අජිත් අලහකෝන් –

  2. මේ ගීතය මෙහෙමත් දකින්න පුළුවන්

    මේ ගීතය රචනය සදහා සම්පූර්ණයෙන්ම ස්වභාව ධර්මය හරි අපූරුවට උපමා ලෙස යොදා ගෙන තිබෙනවා. මේ ගීතය ප්‍රේම ගීතයක්, නමුත් ගීතය තුළ කතාව නම් සම්මතයට පටහැනි දෙයක්.

    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමී
    නුඹට සිත බැඳුනේ කිමැයි මා
    තවම නොදන්නෙමි
    නුඹට සිත බැදි කාරණේ මා
    තවම සොයන්නෙමී

    පෙර කී ලෙසම ගීතය පරිසර වර්ණනා එකතු කරමින් යමුනා මාලිනී මහත්මිය හරි අපූරුවට රචනා කරලා තියෙනවා. ගීතයේ පලවෙනි පද පේලියෙන් කියවෙන විදිහට ගීතයේ සදහන් කරන පුද්ගලයා ප්‍රේම කරනවා. නමුත් ඔහුට ඒ ප්‍රේම කීරීමට හේතුව නම් හරිහැටි පැහැදිලි නෑ.

    කතරෙ වැලි කැට හිරුට පෙම්බැද
    ඇතත් ලෝ දහමින්
    සොදුරු වැස්සට දැවෙන කතරත්
    ආදරෙයි පණමෙන්
    ලොවට නොපෙනෙන අරුම සෙනෙහස
    ඒ වගෙයි මනරම්
    කරනුබැරි තහනම්

    ලෝක ධර්මයට අනුව නම් කාන්තාරයේ වැලි ආදරය කරන්නේ ඉරට වෙන්න ඇති. ඒත් ඒ පිච්චෙන , පිරිරෙන වැලි කැට කාන්තාරයට වැටෙන වැස්සකට ආදරය කරන්න බැරිද?. මම හිතනවා හැමදාම වැටෙන ඉරෙන් පිච්චි පිචිවී තියෙන වැලි කැට කවදා හෝ දවසක ඒ කාන්තාරයට වැටෙන වැස්සකට පණ වගේ ආදරය කරයි කියලා. ගොඩක් අයට මේ දේ තේරෙන්නේ නෑ. ඒ ඇයි මම දන්නෑ. නමුත් මගේ හිතේ ඔබට තියෙන ප්‍රේමයත් අන්න ඒ වගේ , හරිම විරල දෙයක්. ඒත් කාටවත් තහනම් කරන්න බෑ.

    ගීතයේ මේ කොටසින් කියවෙන පරිදි අසම්මත ප්‍රේමයක ඉගි අපට දෙනවා. සරලව කියනවා නම් කාන්තාවක් තවත් කාන්තාවකට හෝ පිරිමියෙකු තවත් පිරිමි පුද්ගලයෙකුට කරන ප්‍රේමයක් සම්බන්ධව පරිසර උපමා සහිතව අපට පහදා දෙනවා.

    සදට සදහට සෙනෙහෙ පෑමුත්
    උදුල තරු කැටයම්
    හිරුටපෙම් බැදි එකම තරුවක්
    සිටිය නොහැකිද යම්

    අර අසම්මත සම්බන්ධය පිළිබඳ අපට දීපු ඉගි මෙතනදී තහවුරු කරනවා. රාත්‍රියේ පායන තරු හරිනම් ආදරය කර යුත්තේ රාත්‍රියේ පායන හදටයි, නමුත් ඔය අහසේ එක තරුවක් හරි නැතිව ඇතිද දවාලට පායන හදට පෙම් කරන.. එහෙම වෙන්න පුලුවන් නේද?.

    නුඹට නොහැගෙන මගේ ප්‍රේමය
    ඒ වගේ මනරම්
    පුදුමවෙයි නුඹ නම්

    අපට තේරෙන විදිහට නම් තවමත් ගීතයෙන් කියවෙන තැනැත්තා තමන්ගේ මේ අසම්මත ප්‍ර්මය ප්‍රකාශ කරලා නෑ. ඒ ප්‍රකාශ කිරීමට යම් බියක් දක්වන නිසා විය හැකියි. ⁣මොකද මෙය සම්මතයට පටහැනි අසම්මත දෙයක් නිසා. ඉතින් මේ ප්‍රේමය ප්‍රකාශ කිරීමෙන් අදාල පුද්ගලයා පුදුමයට පත්වීම සාමාන්‍ය දෙයක්. ඉතින් මේ ගීතයේ කියවෙන චරිතයත් යම් පසුබෑමකට ලක්වෙනවා මේ අසම්මත ප්‍රේමය ප්‍රකාශ කිරීමට. නමුත් ඔහු හිතින් බොහෝසේ ප්‍රේම කරනවා.

    බොහේ දෙනෙකු කියන විදිහට ලංකාවේ පලවෙනි වරට අසම්මත ප්‍රේමය පිළිබඳ ලියවුණු ගීතය මේ ගීතය කියලා අපට හදුන්වන්න පුලුවන්. නමුත් ඇතැම් පිරිස් මේ ගීතයේ නිවරදි තේරුම මේක නෙවෙයි කියලා තර්ක කරන අවස්ථද නැතුවාම නොවෙයි. ඒ වගේම ගීතය වෙනුවෙන් නිර්මාණය වූ රූප රචනයේද එවන් අසම්මතයක් සම්බන්ධ දර්ශන ඇතුළත් වී නැහැ. ( ඒ වීඩියෝ එක පහලින් බලන්න පුලුවන් )

    එක්තරා ගීත විචාරකයෙකු ඔහුගේ වැඩසටහනකදී කියා සිටියේ මේ ගීතය අප පෙර කී අසම්මතයට සම්බන්ධ ගීතයක් බවයි.

    ඒ කෙසේ නමුත් අප ප්‍රවීණයන් ලෙස පිළිගත හැකි රචකයන් හෝ රචිකාවියන්ගේ නිර්මාණය පිළිබඳ සුළුවෙන් හෝ යම් අධ්‍යනයක් කළ යුතුය යන්න මේ ගීත වලින් අපිට පහදලා දෙනවා.

    – මයුරපාද මිතුරෝ –

Enable Notifications OK No thanks