හමාර බණවර

පුරුදු පාරෙම අදත් යනවා
ඒත් වෙන ගමනක් පුතේ
හුඟක් අය මගෙ පස්සෙ එනවා
තනිව ආ ගිය මගේ
කවමදාවත් මගේ බර උඹේ
කරේ තිබ්බේ නෑ පුතේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ
හුඟක් බර නම් බිමින් තියපන්
රිදෙනවා ඇති අත් උඹේ

කන්ද පාමුල සොහොන හුරු නෑ
දන්නවා මං මයෙ පුතේ
මගේ තනියට තවත් අය ඇති
අඳුරගන්නම් හෙට උදේ
සොබාදහමට අවනතයි මං
ඉතින් යන්නම් ගොම්මනේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන් අම්මගේ
යන ගමන් මේ බේත් තුණ්ඩුව
අරන් පලයන් අම්මගේ

Hamara Banawara Purudu Parema – Ravi Royster

More from Admin

Featured on

1 Comment

  1. සටහන – හිරුනි චමෝද්‍යා, ශාස්ත්‍ර පීඨය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය

    ‘තාත්තා’ කියන වචනෙ ඇතුළෙ ම තියෙන්නෙ ආදරය හා රැකවරණය යි. නමුත් ආදරය පිටට පෙන්වන තාත්තලා සිටිනුයේ ඉතා සුළු ප්‍රමාණයකි. බොහෝ විට තාත්තා යනු නිහඬ ආදරවන්තයෙකි. ඕනෑම දරුවෙකුගේ ජීවිතය නමැති අහසෙහි අන්ධකාරය නසන පුරහඳ තාත්තා ය. ‘තාත්තා’. ඒ වචනෙට අලුතින් නිර්වචන සැපයිය යුතු වන්නේ නැත. සැබවින්ම ඔහු වීරයෙකි.
    ආදරණීය පියෙකුගේ නික්ම යෑම පිළිබඳ ඉතා සංවේදී ආකාරයෙන් කියවෙන ගීතයක් ලෙස ‘හමාර බණවර’ යන ගීතය හැඳින්විය හැකිය.
    “පුරුදු පාරෙම අදත් යනවා
    ඒත් වෙන ගමනක් පුතේ
    හුඟක් අය මගෙ පස්සෙ එනවා
    තනි ව ආ ගිය මගේ”
    දුෂ්කර වූ ජීවන සටනට ශක්තිමත් ව මුහුණ දෙමින් අප ව පෝෂණය කළේ තාත්තා ය. ඉහත ගී පද කොටසින් කියවෙන ආකාරයට තාත්තා වැඩට ගිය, අප ව රැගෙන පාසල් ගිය, කඩපිළට ගිය ඒ පුරුදු පාරෙම අදත් එම පියා යයි. නමුත් ඒ පියා පුතාට පවසනුයේ පුරුදු පාරෙම වුවත් අද යන්නේ වෙනම ම ගමනක් බව යි. එම ගමන ගොස් නැවත ඒමක් නැත.මේ යන්නේ සියලු දේ අත්හැර ය. එදා තාත්තා ආ ගියේ තනිව ය. නමුත් අද මෙකී ගමනේ දී තාත්තාගේ පසුපස බොහෝ මිනිසුන් එන බව පවසයි. ආදරණීය පියෙකුගේ නික්ම යෑම මෙසේ රචකයා අප හමුවේ තබයි.
    මෙකී ගීතයේ සංවේදී කොටසක් ලෙස
    “හුඟක් බර නම් බිමින් තියපන්
    රිදෙනවා ඇති අත් උඹේ ”
    හැඳින්විය හැකි ය.
    පියෙක් කවදාවත් තමාගේ බර හෝ වෙනයම් හෝ ජීවන බරක් දරුවෙකු මත පැටවීමට කටයුතු කළේ නැත. මෙම පියා තම පුතාට පවසනුයේ තමාගේ නිසල සිරුර රැගත් පෙට්ටියේ බර දැනෙන්නේ නම් එය බිමින් තියන ලෙසයි. දරුවෙකුට සීරීමක්වත් වනවාට තාත්තා කැමති වූයේ නැත. තමාගේ අවසන් ගමන වුවත් දරුවාට කරදරයක්, බරක් වනවාට තාත්තා කැමති වූයේ නැත. ඒ තාත්තාගේ ආදරය යි.
    මෙම ගීතයේ දක්නට ලැබෙන අනෙක් සංවේදී ම
    කොටස ලෙස
    “සොබාදහමට අවනතයි මං
    ඉතින් යන්නම් ගොම්මනේ
    යන ගමන් මේ බේත් තුණ්ඩුව
    අරන් පලයන් අම්මගේ”
    යන කොටස හැඳින්විය හැකි ය.
    පැමිණි සියල්ලෝම කෙදිනක හෝ නික්ම යති. සොබාදහමේ නීතිය එය යි. මෙම පියා ද එකී නීතියට යටත් වී ඇත. ඔහු ද තම දිවි ගමන අවසන් කර නික්ම යනුයේ එකී නීතියට අවනත වෙමින් ය. පියා දරුවන්ට පමණක් නොව තම බිරිඳට ද එක සේ ආදරය කළ චරිතයකි. තම අවසන් ගමනේ දී පවා තම බිරිඳව මෙම පියාට මතකයට නැගෙන්නේ එබැවිනි. මේ පියා පුතාට පවසනුයේ අම්මාගේ බෙහෙත් තුණ්ඩුව රැගෙන යන ලෙස ය. තාත්තා යනු තම යුතුකම් නොපිරිහෙලා ඉටු කළ ආදරණීය චරිතයකි.
    සතුට දියකර, සෙනෙහස මුසුකර අප ව රකින්නේ තාත්තා ය. අපගේ සිනාව දැකීමට ඔහු සිය ජීවිතයේ බොහෝ දේ කැප කර ඇත. තාත්තා
    යනු මිහිපිට දෙවියෙකි. අවසානයේ දී පැවසීමට ඇත්තේ තාත්තා යනු ආදේශයක් නොමැති, ආදරණීය බැඳීමක් වන බව යි.
    #vibhava