බිරිඳගේ ආදරය

මේ ගීතයෙන් කථා කරන්නේ හරිම ලස්සන පුංචි පවුලක් ගැන. විවාහ ජීවිතය අභියෝගයකට ලක්වෙලා තියෙන මේ කාලයේ මේ ගීය පවුල් ජීවිතය ගැන තවත් වරක් සිතන්න ඉඩදෙනවා. මේ ගීතයේ කථාව ගෙතෙන්නෙ බිරිඳ වටායි. මේ ගීතයේ පද රචනය පොඩිරත්න අඟමලේ මහතා, සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ මහතා ගායනය මහාචාර්ය සුනිල් එදිරිසිංහ මහතා විසින්. මේ ගීතය පටන් ගන්නේ මෙහෙමයි

හඬන පොඩි පුතු නළව ගන්නට නිදන මට රහසින්
රැයේ තුන් යම නිදි වරා නුඹ නොවිඳිනා දුකකින්
කහට පොද ගෙන කුරුළු කූජන සමඟ ළඟ ඉඳිමින්
සිනා පෑවත් කියාලයි තතු විඩාබර මුහුණින්

මේ පවුලට පුංචි පුතු ආපු මුල් කාලයයි. පුංචි පුතු ඇහැරෙන වෙලාව නිදියන වෙලාව තාම හොයාගන්න බැහැ. ඉතින් මේ කාලයේ තම බිරිඳ, පුතු හඩද්දී ඔහුව නලව ගන්නට ගන්නේ ලොකු විර්යක්. මහන්සියෙන් නින්දට යන ඇයට අවසානයේ ඇත්තේ නිදි වර්ජිත රැයක්. හැබැයි එහෙම වුනා කියලා ඇයට උදේ නැගිටින්නේ නැතුව ඉන්න බැහැ. ඇයගේ සුන්දර මුහුණෙන් සහ ඒ හිනාවෙන් තම පුරුෂයාට තේ අරගෙන එද්දී තම විඩාබර ගතිය නැති බව පෙන්වන්න හැදුවත් ඒ විඩාව ඔහුගෙන් හංගන්න බැහැ. මේ ගීතයේ ඊලග පද පේළි මෙහෙමයි.

ලිහා බත් මුල බුදින මොහොතක මිතුරු කැළ සමඟින්
වහා දස අත සුවඳ පිරුණා නුඹේ ගුණ සුවඳින්
කම්හලේ දැති රෝද නැඟු රළු පරළු හඬ අතරින්
නුඹේ හදවත ගැහෙන රාවය මට ඇසේ රහසින්

මේ පුරුෂයා පොඩි ආඩම්බර කාරයෙක්. මොකද බිරිඳ හදල දෙන බත් එක යාළුවන් සමග කන්න ගන්නේ ආඩම්බරයෙන්. මොකද ඇයගේ කෑම හරිම රසින් සහ සුවදින් තියෙන නිසා. මහා සැපවත් සුඛෝපබෝහි ජිවිතයක් ඔහුට නොතිබුණත් ඔහුගේ ශක්තිය ඇගේ බිරිඳයි. මොකද ඇගේ ගුණ සුවඳ ඔහුට මහමෙරක්. ඒ නිසාමයි ඔහුගේ රළු රැකියාවේ සද්ද බද්ද කොච්චර අමාරු වුනත් ඔහුට ඇසෙන්නේ ඇයගේ හදවතයි. ළඟ නැතත් ඔහුට ශක්තිය වන්නේ ඇයගේ ආදරයයි. මේකේ ඊළඟ පද පේළි මෙහෙමයි..

අපට අපමය පිහිට පිළිසරණයද යන හැඟුමින්
සැපත දුක ළඟ සමව සැනසී නිබඳ ඉවසීමෙන්
මටම දා වුන පැටවුනට සහ මටද අම්මා වන්
සොඳුර නුඹගෙනි එළිය වූයේ උදාවන දිනිඳුන්

සැපේදී සිටින යහළු මිත්‍රයන්ට වඩා දුකේදී සැපේදී සිටින ඇය ඔහුට පුදුම අස්වැසිල්ලක්. ඒ නිසාම ඇය ඔහුගේ දරුවන්ට විතරක් නෙමේ ඔහුටත් අම්මා වගේ. හිරු කිරණින් දිනක් පටන්ගන්නවා වගේ ඔහුගේ ජීවිතය අවදි වෙන්නෙත් ශක්තිය වන්නේත් ඇයගෙන් ඔහු ලබන ආදරයයි.

මේ ගීතය අහන්න මෙතන කරන්න
https://geemansala.com/songs/handana-podi-puthu/

#Love #Wife #Sunil #Edirisingha edirisinghe

More from Admin

Comment

Your email address will not be published. Required fields are marked *

Enable Notifications OK No thanks