පුන් සඳ රෑට ඇවිදින්

Lyrics

පුන්සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ
රන්කෙදි සේම රන්වන් ඉරිඟු ඉඹිනවද
තුන්යම හීන දැක දැක මොටදැයි ගෙදර ඉද
රන්කද තාම පැල් රකිනවාදෝ නිදි නැතිව

නිල් තරු රෑන ඉඟි බිඟි පාන අහස යට
පිල්කඩ උඩම ඇලවී ඉන්න හිතයි මට
මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට
මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට

පුන්සඳ රෑට ඇවිදින්…..

රන් කඳ සේම පින්සර මාගේ ඇතු නිදන
රන් මල් යාන හීනෙන් දකින පින පමණ
තුන්පත් රෑන වේදෝ කොහෝම අප දෙදෙන
රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන

පුන්සඳ රෑට ඇවිදින්…..

Punsanda rata reeta awidin avidin – Nirosha Virajini

More from elon

1 Comment

  1. හේන් වැඩපල තම ජීවන වෘත්තිය කරගත් අයෙක් තම ජීවිතයේ තවත් කඩ ඉමක් පසු කරයි. ඒ ඔහුගේ විවාහයයි. විවාහවූ පලියට ඔහු මෙතෙක් කරගෙන ආ දේවල් අත්හරින්නට ඔහුට නොපුලුවන, මන්දයත් තමා මෙන්ම තම බිරිඳද රැකෙන්නේ ඒ තුලින් බැවිනි. දහවල් කාලයේ හේන් වැඩපල සිදුකලද රාත්‍රී කාලයට ඒවා සතුන්ගෙන් ආරක්ෂා කර ගත යුතුය. එසේ නොමැති වුවහොත් තම උත්සාහය, මහන්සිය සියල්ලක්ම ගඟට කැපූ ඉනි මෙන් අපතේ යයි.
    විවාහයෙන් පසු තම ජීවන රටාව එලෙසටම පවත්වාගෙන යාමට ඔහුට සිදුවේ. ඒ අතරතුර බිරිඳ ගෙපැලේ තනිවෙයි. මේ ගීතයෙන් කියැවෙන්නේ එසේ තනිවූ මොහොතක ඈ තුල ජනිතවන සිතුවිලි සමුදායකි.

    පුන්සඳ පායා පරිසරයේ අදුරු බව මදකට දුරුකර ඇත. ‘රන්කෙඳි සේම රන්වන් ඉරිඟු සිඹිනවද’ යන්න තම රාජකාරිය කෙරේ ඇති බැඳීම විදහාපාන බව මගේ අදහසයි. පැලේදී තම බිරිය වෙනුවට ඔහුට ඇත්තේ තම වගාවන් පමනි. ඔහු නිදිවරාගෙන පැල් රකින්නේ වගාව රැකගැනීම සඳහායි.ඇය තනිවම ගෙපැල තුල සිටීම පිලිබඳව කනස්සල්ලට පත් වනවා මෙන්ම තම ස්වාමියා කෙරෙහි සියුම් දුකක්ද හටගනී. ‘රන්කඳ’ යන්නෙන් ඇය තුල තම ස්වාමියා කෙරෙහි ඇති ලෙන්ගතුකම විදහාපායි. ස්වාමියා නිදිවර්ජිතව පැල් රැකීම මා පෙර කී ආකාරයට ඇය තුල සියුම් දුකක් ජනිත කරවයි.

    නින්ද ඇය අසලට නොපැමිනේ. ස්වාමියා නොමැති පාළුව නිසාම ඇය පිල් කඩට පැමින රාත්‍රී අහස දෙස බලයි. එය ඇයට මොහොතකට හෝ සැනසීමක් ගෙනදේ. සැමියා නොමැති යහනට වඩා නුබ ගැබ දෙස බලා සිටිමින් පිල් කඩ උඩ වැතිරීමට ඈට සිත්දේ.
    ඈගේ සිතුවිලි ඈතට ගමන් කරයි. ‘මී අඹ කන්න ගිරවුනි එන්න එපා හෙට. මල් පිපුනාට ගෙඩි නෑ තාම අඹ ගහට’ මෙහිදී මී අඹ කන්න තමා ගිරවුන්ට එන්නට එපා කියන්නෙ. ඒත් ඒ එක්කම කියනවා ගෙඩි නෑ තාම අඹ ගහට කියලා. එහෙනම් ගෙඩි නැති නිසා තමයි ගෙඩි කන්න එන්න එපා කියන්නෙ. මෙයින් කියවෙන්නේ ඇයට තවම දරුපල නොමැති බව. මෙහිදී තව ප්‍රශ්නයක් මතුවෙනව කවුද මේ ගිරවුන් කියන්නේ කියල. ගිරවුන් අඹ වලට ආසයි. බොහෝ දුරට ගිරවුන් යනු තම මවුපියන් ඇතුලු නෑදෑ පිරිවරයි. ඔවුන් තම දියනිය විවාහ වූ පසු බලාපොරොත්තු වන්නේ දරුමල්ලන්. සමාජයේ මේ පිලිබඳව නිතරම ප්‍රශ්න කෙරෙනවා. ‘තාම ළමයෙක් හදන්න හිතල නැද්ද? කවදද අපිටත් ඔයාගෙ දරු සුරතල් බලන්න පුලුවන් වෙන්නෙ. දුවේ කවදද අපිට පුනුපුරෙකුගෙ මූණ බලන්න පුලුවන් වෙන්නෙ’ මේ ආකාරයාට දහසක් ප්‍රශ්න මේ වෙනුවෙන් ඇත. ඉතින් ගිරවුන් මී අඹ කනවා යන්නෙන් අදහස් කරන්නේ දරු මල්ලන් බැලීමට පැමිනීමයි.

    ‘මල් පිපුනාට ගෙඩි නෑ තාම’ යනු විවාහයක් කරගෙන ඒත් තවම දරුවන් නොමැති බව මිස දරුවෙක් නැති උනාට ඇය විවාහයක් කරගෙන යන්න නොවේ. මොකද සමහර අර්ථකතන වල ගිරවුන් ඇයගේ පසුපස පැමිනෙන පිරිමින් යයි සඳහන් කොට තිබෙනවා.
    හැබැයි මල් පිපිලා, ඒ කියන්නෙ විවාහය සිදුවී අවසන්. ගෙඩි හැදීම පිලිබඳ බලාපොරොත්තුවක් තියනවා.

    තම සැමියා කෙරෙහි ඇය තුල විශාල ගෞරවයක් ඇත. ඒය ‘රන් කඳ සේම පින්සර මාගේ ඇතු’ යන පද වලින් ගම්‍යවේ. නමුත් ඇය තුල පවතින දුක වන්නේ තම සැමියා හා යහන්ගත වීමට ඇති ඉඩකඩ සීමිත වීමයි. ඇයට දරුපල ඕනෑවී තිබේ. මේ සඳහා කෙසේහෝ තම සැමියා නම්මා ගැනීමට ඇයට අවශ්‍යය. රත්න ශ්‍රී විජේසිංහයන් මෙය ඉතාම අපූර්වට පදපෙලකින් ඉදිරිපත් කර ඇත. ‘තුන්පත් රෑන වේදෝ කොහොම අප දෙදෙන..රන් කැටි පුතුට ඉඩ මදි වාද මගෙ යහන..’

    විචාරය පසෙකට දැමූකල මෙහි සංගීත නිර්මාණය ගැන සඳහන් කල යුතුමය. ඔස්ටින් මුණසිංන්හ සංගීත වේදියාණන්ගේ මියුරු සංගීතය නිසා ගීතයට දැඩි සාධාරණයක් ඉටුවී ඇති බව නොරහසකි. ගැමි පරිසරයක, පාළු රාත්‍රියක චිත්තරූපයක් අපසිත් තුල මැවීමට මේ නාද රටා නිතැතින්ම සමත්වේ. ඇය තුල ඇති පාළුව මුසුවූ ශෝකයද මෙහිදී මනාව ගෙනහැරපායි. ඔස්ටින් මුණසිංන්හ සංගීත වේදියාණන් අද අප අතර නැතිවිම අප ලද අභාග්‍යයකි.
    source: geeyaka-arutha.blogspot.com

Enable Notifications OK No thanks