Lyrics
සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී
සියුමැලි කැකුළක් මැළවෙද්දී
දහසක්පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බින්දූ
ගව්වක් ඉහලක ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා
ඒ හා මුහු වුන වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක
තවෙකෙක් ඈ වෙත හද රැන්දූ
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ
සඳකඩ පහනක කැටයම් ඔපලා …
හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
පොපියන හදවත සිටී බලා
සිටී බලා ….
Sandakada Pahanaka sadakada – Sunil Edirisingha edirisinghe පහනක සඳකඩ පහණක
1973 තිර ගත වූ මාතර ආච්චි සිංහල චිත්‍රපටයට වොලී නානායක්කාරයන් අතින් රචනා වූ මෙම අග්‍රගන්‍ය ගීතය වික්ටර් රත්නායකයන්ගේ සංගීතයෙන්ද සුනිල් එදිරිසිංහයන්ගේ මධුර හඩින් ද ඔපවත් වී ඇත.
චිත්‍රපටයකට පමනක් ලඝු නොවී මුලු මහත් ලෝකයාටම රස විඳිය හැකි ලෙස නිර්මාණය බිහිවී ඇති ආකාරය ප්‍රශංසනීයයි වේ. වික්‍ටර් රත්නායක මහතා ගීතයේ අරුතට ඔබින ලයාන්විත තැම්පත් තනුවක් ගීතයේ ගල්වා ඇත.
සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුනු ලැගුම් ගනී
කැලතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියවේ
පලමු පද පේලි දෙකෙන් රචකයා ජීවිතය හා ආදරය ගැන කෙටි හැදින්වීමක් දෙමින් ජීවිතය යනු පාවෙන දේදුනු ලැගුම් ගන්නා සදකඩ පහනක් යන්න සහ ආදරය යනු හදිස්සියේ කැලබී දියෙන් උඩට එන අනිත්‍ය දිය බුබුලක් වැනිය යන්න පවසයි.
සදකඩ පහන සැමදා අසම්පූර්ණය එහි නිතරම ඇත්තේ හරි අඩකි හරියට ජීවිතය වැනිය. සදකඩ පහන පගාගෙන ඇතුල්වන අය සදකඩ පහන පාගාගෙනම කවදා හෝ එලියට පැමිනේ සදකඩ පහන පාගාගෙන ඇතුල්වෙන කිසිවෙකු ඇතුලත සදාකාලිකව රැදෙන්නේ නැත. හරියට ජීවිතයේ අපිට හමුවන අයවලුන් වැන්න. එවැනි සදකඩ පහන අපේ ජීවිතය නම් එහි නෙලා ඇති කැටයම් අතර පා වෙන දේදුනු ලැගුම් ගන්නා බව රචකයා පවසයි. කොපමණ ස්තිර සාර දේ ජීවිතයේ තිබුනත් ඒ අතර මොහොතින් අතුරුදහන් වන පාවෙන දේදුනු වැනි කොටසකුත් ඇති බව රචකයා එමගින් ගම්‍ය කරයි . මේ පද පේලියෙන් පමණක් ජීවිතය පිලිබද පුස්තකයක් රචනා කල හැකි විස්තරයක් , ජීවිතය පිලිබදව සාරාංශයක් අඩංගුව ඇත.
කැලතුනු රසයක පැන ආ බුබුලක් අකුරු වැලක් දෙහදක ලියවේ … යෞවනය කැලතුනු රසයකි. මොහොතකට සිතන්න ජීවිතය රසයක් නම් යෞවනය යනු එම රසයේ කැලතුනු අවදියයි. ඒ සුන්දර යෞවනයේ රසය කැලතුනු නිසා නැගී ආ රස බුබුල දෙහදක ආදරයක් වැන්න . එහෙත් දිය බුබුලක් මොහොතින් බිදී අතුරුදහන් වන්නා සේ රස බුබුලක් වූ ආදරය මොහොතින් සිදී යා හැකි දෙයක් බව රචකයා ව්‍යංගයෙන් පවසයි.
මේ පද පේලි දෙකෙහි සාරාංශය ගත් කල ජීවිතය යනු අනිත්‍ය , තාවකාලික සතුටෙන් පිරුණු සැනෙන් වෙනස් වන , තනියම ඉපිද තනියම මියයෑමට සිදුවන තැනකි. ආදරය යෞවනයේ රස බුබුලක් මෙන් කවදා හෝ විනාශ වී යයි.
යුගයෙන් යුගයක නොමියන දහනක
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුලක් මැලවෙද්දී
ජීවිතයෙ පදනම් දෙකකි, එකක් ඉපදුනු දා පටන් මව්පියන් දමන පදනමයි. එම පදනම මතින් වැඩෙන යම් කිසිවෙකු ජීවිතයට දෙවැනි පදනමක් ඇති කරගන්නේ විවාහය මගිනි. එනම් විවාහය යනු ජීවිතයේ එක්තරා පදනමකි. එය කුඩා කල මව්පියන් දමන පදනමින් වෙනස් වන්නේ ජීවිතයේ දෙවන පදනම තමන් විසින් සාදා ගන්නා නිසාය. යුග ගනන් පවතින්න පෙරුම් පුරාගෙන දිවියේ පදනම වන විවාහයට මුල පුරන්න කලියෙන් තම සහකාරිය නොපෙනෙන ඈතකට රැගෙන ගොස් ඇති බවත් තම සිත තනි වී ඇති බවත් , සියුමැලි මලක් වැනි ආදර සිත දැන් මැලවී ඇති බවත් රචකයා පවසන අතර සුනිල් එදිරිසිංගයන්ගේ දුක් මුසු කටහඩ ගීතයේ තේරුමට උපරිමයෙන් සාදාරණය ඉටු කරයි. සියුමැලි යන වචනය කතා නායකයාගේ ආදරයේ ස්වභාවය කියා පායි. ඔහු ඇයට කිසි වරදක් නොකරන ලද ඇයට සැබැවින්ම ආදරය කල අවංක ආදරයක් තිබූ තැනැත්තෙක් බව කියා පායි.
මේ පද පේලි දෙකෙන් තම ආදරවන්තියගේ සිත වෙන කෙනෙකු අරන් ගිය බව ගම්‍ය උවත් එය තවම තහවුරු වන වචනයක් මෙහි නැත. මෙම පද පේලි දෙකෙන් රස විදින්නාට යම්කිසි කුතුහලයක් ඇති කරයි. ආදරවන්තිය නැතිවී ඇති බව හා තම සිත බිදී ඇති බව පවසන රචකයා තවම එයට හේතුව පවසා නැත.
දහසක් පෙති මත රහසක් කොදුරා
තුඩින් තුඩට ගෙන යන බිංදූ
ගව්වක් ඉහලට ගොනු කොට රඳවා
පොපියන දෙතොලක් එහි කැන්දූ
මී මැස්සා මල් පැණි සොයා දහසක් මල් තරණය කරයි. ඒ තරණය කළ නියාවෙන් මල් මී පැණි බිදුවක් වුවත් ආසාවෙන් රැගෙන ගොස් ගසක ඉහල අත්තක පරිස්සමට තැම්පත් කරයි. හරියට මේ තරුණයා වැන්න. ඔහු බොහොම මහන්සියෙන් උවමනාවෙන් බලාපොරොත්තු හා සිහින බිද බිද රැස් කරයි.
තුඩින් තුඩ ආරක්ශාවට බොහෝ කාලයක් තිස්සේ ඒ බලාපොරොත්තු හා සිහින කා හටවත් ලංවන්නට සොරා ගන්නට හෝ බිම හෙලන්නට නොහැකි අයුරින් ගව්වක් ඉහලින් තැම්පත් කරයි. හරියට මී මැස්සා ආරක්ශාවට ගස ඉහල මී වදය බදින්නාක් මෙනි. සෙමින් සෙමින් ගොඩ නැගෙන ඒ සිහින ගොනු කොට ආදරවන්තියගේ පහස , වෙනුවෙන් මේ ආදරවන්තයා කැප කොට ඇත. මී පැනි රස බලන්න ආදරවන්තියගේ පොපියන දෙතොල ඔහු කැන්දාගෙන ඇවිත් ඇත. ඇය ඔහුගේ කරගන්න ඔහු කොපමණ සැලකිලිමත් උනාද , උවමනා උනාද එසේත් නැත්නම් ඇයට කොපමණ ආදරය කලාද යන්න දහසක් පෙතිමත මහන්සි වී රැගෙන ආ බිංදු බිංදු සිහින බලාපොරොත්තු ඔහු ගව්වක් ඉහලින් ආරක්ශාවට තැම්පත් කළාය යන වචන පේලි වලින් මනාව ගම්‍ය වේ.
අහසක් ගුගුරා කලුවක් වපුරා
ඒ හා මුහු වුනු වැහි බිංදූ
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක
තවකෙක් ඈ වෙත හද රැන්දූ
එසේ ගව්වක් ඉහලින් බැදි මී වදයට කුමක් වූවේද යන්න මේ පද පේලි දෙකෙන් කීමට උත්සාහ කර ඇත. හතරවටින් ගලා ආ කලු වලා අන්ධකාරය පතුරා ආරම්භ වූ මහ වැස්සට ගව්වක් ඉහලින් බැදි ඒ මී වදය තෙමී යයි. ඔහු ආසාවෙන් රැස් කරන ලද බලාපොරොත්තු සිහින මේ වැස්ස නිසා බාල වී ක්ෂීන වී ගොස් ඇත්තේ අගනා මී පැණි වැසිජලය හා මුසු වී බාල වී යන අයුරිනි. ගව්වක් ඉහලින් පරිස්සමට රැකගත්තත් අහස කලු කරගෙන පැමිනෙන මහා වැස්සට මී මැස්සාත් අසරණය , එනම් මේ තරුණයා නොසිතූ විරූ අයුරින් තම ආදරයට බාධා කරන යමක් හරස් වී , අගනා මී පැණි වැනි ඔහුගේ ලෝකය විනාස කර දමා ඇති බව මේ පද පේලියෙන් ගත හැකි අරුතයි. එසේ වූයේ මන්ද යන්න ඊලග පද පෙලින් පැහැදිලි වේ
ඈ ගෙන යද්දී නටබුන් අතරෙක තවකෙක් ඈ වෙත හද රැන්දූ … ප්‍රේමවන්තයාගේ ලෝකය නටබුන් පිරි ලෝකයකි , ඔහුට මේ ලොව පෙන්නවන්න දෙයක් ඇත්නම් ඒ නටබුන් පමණි. ඔහුගේ ජීවිතයේ තත්වය පෙන්වීමට නටබුන් වචනය මෙතනදී යොදාගෙන තිබේ. ප්‍රේමවන්තයා ප්‍රේමවන්තියව ඒ ඔහුගේ ජීවිතයේ කොටසක් කරගනිමින් සිටින මේ අවස්ථාවේ වෙනත් කෙනෙකු ඇයට පෙම් බැඳ ඇති බව මෙහි අරුතයි.
හද විල ඉපැදුනු කැකුලක් නොකලට
නටුවෙන් ගලවා දුරට යවා
මිහි ලිය තෙත්කොට ගිලිහුණු කදුලක්
සත් සමුදුරකට මුහුව ගියා
කලියෙන් තිබූ පද පේලි වලින් කතාන්දරය විස්තර වන අතර මේ පද පේලියෙන් ප්‍රේමවන්තයාගේ දුක පවසයි. හද නැමැති විශාල විලෙහි කාලාන්තරයකට පසුව ඉපදුනු ආදරය නැමැති ලපටි තවමත් පූදිමින් පැවතුන කැකුල අසාධාරණ ලෙස අකාලයේ නටුව මුලින්ම ගලවා නොපෙනෙන දුරකට යවා ඇත. ඒ නියාවෙන් ඉපැදුණු මහා දුකට ඇද හැලුණු කදුලක් මහපොලව තෙත් කරගෙන තෙරක් නොපෙනෙන හිස් මුහුදට ගලා ගොස් ඇත.
ප්‍රේමවන්තයාගේ දුක කොපමණද යත් ඔහුගේ කඳුළ මහා පොලව තෙත් කරමින් ගන්ගාවක් ගලා යන්නාක් මෙන් මුලු පොලවම දුකෙන් තෙත් කරමින් ගලා ගොස් ඇත. නමුත් අන්තිමට එයින් ලද දෙයක් හෝ සිදු වූ දෙයක් නැත. සුපුරුදු ගංගාව සේම ඔහුගේ කදුලද ආවද නාවද ගානක් නොමැති මහා සාගරයට මුසු වී ගොස් ඇත. ගංගා ජලය මුහුදට වැටෙත්ම එය මුහුදු වතුර වෙනවාක් මෙන් ඔහුගේ කදුලද නොවටින්නක් බවට පත් වී ඇත.
ඔබට උරුම වූ රිදුනු තැවුණු හද
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා
උන්මාද චිත්‍රා සිර කර තබනු ලැබුවේ එක්ටැම් ගෙයකය. පිටස්තර ලෝකයට මාවතක් නොමැති එක්ටැම් මැදුරක කවුලුවක් ලග පෙම්වතා බලා සිටී. එක්ටැම් මැදුරක සිටීය යන්නෙන් තේරුම් කීපයක් මතු වී එයි. මොහු පෙම් බැඳ ඇත්තේ ඇයට පමණි. ඇයගේ ලෝකය ඔහුට එක්ටැම් මැදුරක් වැනිය. ඔහුට ඇයගෙන් තොර ලොවක් නැති සේය. දෙවන අරුත ඔහු ඇය පියඹා තමා ලඟට එනතුරු ඔහු එක්ටැම් මැදුරක සිරවී සිටින්නා මෙන් තනිවම ජීවත් වීමට තීරණය කර ඇති බවය. මෙහි අරුත් කීපයක් ගැබ්ව ඇති බැවින් විවිධ අර්ථකථන එබ්බවිය හැකිය.
කෙටියෙන් කීවොත් .. ඔබට රිදීමක් තැවීමක් ඇති වූ දාට එක්ටැම් මැදුරක කවුළු තුලින් ඔබ එනතුරු බලා සිටින මා වෙතට රුවන් විමානයේ ඉදන් උවත් පැමින්නෙන්න. රුවන් විමානෙන් .. යන වචන දෙකෙන් සැප පිරි ලොවක් ගැන පවසයි.
පෙම්වතා ගේ බලාපොරොත්තුව පෙම්වතිය තමන් ලඟ සිටිනවාට වඩා යහපත් ජීවිතයක් ගතකිරීමට හැකි වේවාය යන්නයි. පෙම්වතිය තමාගෙන් ඈත වුවත් රත්තරන් විමානෙක ජීවත් වේවා යැයි පෙම්වතා පතන නියා රුවන් විමානෙන් යන වචනය යොදාගෙන ඇත. රුවන් විමානෙක වුවත් දුකක් කරදරයක් හදවතට පැමිනෙන්නේ නම් තමා සිටින එක්ටැම් මැදුරේ කවුලුව ලඟට පැමිනෙන්න. ඒ එනතුරු මම එක්ටැම් ගෙයට වී තනියම වුවත් බලා හිදින්නම් යන අරුත් මේ පද පේලි දෙකෙන් ගම්‍ය වේ. තවමත් නොසන්සිදුනු පෙම්වතාගේ බලාපොරොත්තු වල නැවුම් බව විශාලත්වය කියා පෑමට පොපියන වචනය යොදාගෙන ඇත.
විවිධ පුද්ගලයන් ගීතය සම්බන්ධයෙන් විවිධ අදහස් , විවිධ අර්ථකථන සිදු කර ඇත. විවිධ අර්ථකථන ඇති ගීතය සාර්ථක නිර්මාණයකි. බහුවිධ අරුත් ඇති ගීත විවිධ පුද්ගලයන් විවිධ කෝණයෙන් දකින නිසා ගීතය රස විදින රසික පිරිස වැඩි වේ. මෙයත් එවැනි ගීයකි. මෙය අතිශයින් පෞද්ගලික පද රචනයක් බව සමහර විචාරකයන් පවසා ඇති අතර මමද එයට එකඟ වේ. ගීතයේ එන කිසි කරුණක් එක එල්ලේ මෙසේය කියා පැවසිය නොහැකි තරමට පෞද්ගලිකය. ගීතයේ පදනම මෙහි සදහන් වන අරුතට වඩා සුළු වශයෙන් වෙනස් විය හැක්කේ ඒ නිසාවෙනි.
— HM (Miyuru Gee)–